මේ සියවසේ මගහැරුණු ජයග්‍රහණ යළි රටට අත්කර දීමටත් එකි ජනතා සිහින යථාවක් කිරීමටත් නව වසරේදී තවත් වීර්යයෙන් හා සද්අධිෂ්ඨානයෙන් කැපවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
2025 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, නිදහසින් පසු ලංකා ඉතිහාසයේ පළමු වතාවට ජනතා හිතෛශී පාලනයක් ඇති කරමින් සියලු දෙනා එකාවන්ව දුටු සංවර්ධිත ශ්‍රී ලංකාවක් පිළිබඳ සිහිනය යථාර්ථවත් කිරීමේ අවස්ථාව දැන් අප සැමට හිමිව ඇති බවයි.
අත්හල නොහැකි එම භාරදූර වගකීම අප සියලු දෙනාගේ දෙවුර මත පැටවී ඇති බව ද ජනාධිපතිවරයා සිහිපත් කර සිටි.
ග්‍රාමීය දිළිඳු බව අවසන් කිරීම, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම, රටේ ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා ලෙස හඳුනා ගෙන ඇති බව ද ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන් විය.
සමාජය වඩාත් දියුණු තලයකට ඔසවා තැබීමේ අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන නව වසරේ උදාවත් සමග ක්‍රියාවට නැංවෙන්නේ ඒ පසුබිම තුළ බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.
මේ අතර නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රමාත්‍ය හරිනි අමරසූරිය පවසන්නේ, දීප්තිමත් අනාගතයක් කරා යන ගමන අභියෝගාත්මක වන අතරම, එම ඉලක්කය සපුරා ගැනීම සඳහා අපි දැනටමත් සැලකිය යුතු පියවර රැසක් ගෙන ඇති බවයි.
ශ්‍රී ලාංකික අපට පසුගිය 2024 වසර සැබවින්ම පරිවර්තනීය වසරක් වූ බව පෙන්වා දෙන අග්‍රාමාත්‍යවරිය භේදයකින් තොරව එකට එක්ව සංවේදී, පිරිසිදු හා ජනතාව කේන්ද්‍ර කරගත් දේශපාලන සංස්කෘතික වෙනසක් මෙරට ජනතාව තෝරාගෙන ඇති බව ද පවසයි.
වගකිවයුතු රජයක් ලෙස ආර්ථිකය, කර්මාන්ත, අධ්‍යාපන ඇතුළු විවිධ තීරණාත්මක ක්ෂේත්‍රවල සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටින බව ද අග්‍රමාත්‍යවරිය පෙන්වා දෙයි.
ඇය සඳහන් කළේ, සෑම පුරවැසියෙකුටම ජාතිය, ස්ත්‍රී පුරුෂභාවය, වාර්ගික හෝ ආගමික භේදයකින් තොරව සාමකාමී, නිදහස්, ගෞරවනීය සහ තෘප්තිමත් ජීවිතයක් ගත කළ හැකි අනාගතයක් නිර්මාණය කිරීම වත්මන් රජයේ දැක්ම බවයි.