ස්වභාවික විපත් හෝ ජාත්‍යන්තර දේශපාලනික අර්බුද හමුවේ ඇති වන කම්පනයන්ට මුහුණ දීමේ මූල්‍යමය හැකියාවක් වර්තමානය වන විට ශ්‍රී ලංකාව සතු නොවන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. හෝමාගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ රට පවත්වාගෙන යාමට අවශ්‍ය රුපියල් මෙන්ම විදේශ ගනුදෙනු සඳහා අවශ්‍ය ඩොලර් සංචිත ද ප්‍රමාණවත් ලෙස රට සතු නොමැති බවයි.
මෙම වසරේ රජයේ මූල්‍ය තත්ත්වය පිළිබඳ දත්ත ඉදිරිපත් කරමින් ඔහු කියා සිටියේ, රජයේ ඇස්තමේන්තුගත ආදායම රුපියල් ට්‍රිලියන 5.3ක් වන අතර, දෛනිකව සිදුකළ යුතු පුනරාවර්ථන වියදම රුපියල් ට්‍රිලියන 5.6ක් වන බවයි. ඒ අනුව රජයේ එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමට පමණක් රුපියල් බිලියන 300ත් 400ත් අතර මුදලක හිඟයක් පවතින බව ඔහු අනාවරණය කළේය.
රට තුළ සිදුවන නායයෑම්, සුළි කුණාටු වැනි අභ්‍යන්තර ආපදා හෝ ලෝකයේ වෙනත් රටවල සිදුවන යුද්ධ වැනි බාහිර කම්පනයන් හමුවේ ආර්ථිකය දැඩි අවදානමකට ලක්විය හැකි බව හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. කුමන රජයක් බලයට පත්වුවද මුහුණ දීමට සිදුවන මූලිකම ගැටලුව වන්නේ මෙම රුපියල් සහ ඩොලර් හිඟය බව ඒ මහතාගේ අදහසයි.