පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර අතරමග ඇනහිට තිබූ දුම්රිය ධාවන කටයුතු අද (29) සිට යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ආපදාවට ලක්ව තිබූ දුම්රිය මාර්ග කොටසෙහි අලුත්වැඩියා කටයුතු සාර්ථකව අවසන් කිරීමත් සමඟ මෙලෙස දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර ඇත.
පසුගියදා ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කුඩාවැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර පිහිටි කඩුපිටිඔය හරහා පවතින පාලම අසලින් දුම්රිය මාර්ගය සෝදාගෙන යාම නිසා මෙම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල විය. ඒ හේතුවෙන් කොළඹ කොටුව සිට හලාවත සහ පුත්තලම දක්වා දුම්රිය ධාවනය තාවකාලිකව අත්හිටුවීමට මීට පෙර බලධාරීන් තීරණය කර තිබුණි.
මාර්ගය අලුත්වැඩියා කරන තෙක් කොළඹ සිට පැමිණි දුම්රිය ධාවනය නාත්තන්ඩිය දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කිරීමට සිදු වූ අතර, හලාවත දුම්රිය ස්ථානයේ ගාල් කර තිබූ දුම්රිය කට්ටල 05ක් ද ධාවනය සඳහා යොදා ගැනීමට නොහැකි වීමෙන් මගීහු දැඩි අපහසුතාවට පත්ව සිටියහ. අද සිට එම සියලු දුම්රිය කට්ටල යළි ධාවනයට එක් කිරීමට නියමිතය.
මේ අතර කොළඹ කොටුව සහ මීගමුව අතර උදෑසන සහ සවස් කාලයේ ධාවනය වන කාර්යාල දුම්රිය ද අද සිට සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව තහවුරු කරයි. මගීන්ට බාධාවකින් තොරව සිය ගමන් අවශ්‍යතා සපුරා ගැනීමට මේ හරහා අවස්ථාව සැලසේ.