රට තුළ අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා පොලිස්පතිතුමාගේ සෘජු උපදෙස් මත ක්‍රියාත්මක වන සුවිශේෂී මෙහෙයුම් මාලාව මේ වන විට දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක වේ. සියලුම ප්‍රාදේශීය පොලිස් ස්ථාන ආවරණය වන පරිදි කොට්ඨාස මට්ටමින් මෙම මෙහෙයුම් සිදු කෙරේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද වාර්තාවන්ට අනුව, 2026 ජනවාරි 01 වන දින පමණක් සිදු කරන ලද මෙහෙයුම් වලදී සුවිශේෂී ප්‍රගතියක් අත්කරගෙන ඇත.
පසුගිය 24 පැය තුළ මෙහෙයුම් දත්ත:
එක් දිනක් තුළ පුද්ගලයින් 27,564 දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර, විවිධ වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 535 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්වූවන් අතර පහත පිරිස් ප්‍රධාන වේ:
- අපරාධවලට සෘජුව සම්බන්ධ සැකකරුවන්: 16 දෙනෙකු.
- වෙනත් වරෙන්තුකරුවන්: දින වරෙන්තුකරුවන් 98 ක් සහ විවෘත වරෙන්තුකරුවන් 96 ක්.
- බීමත් රියදුරන්: 501 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මාර්ග විනය සහ රථවාහන වැරදි
මෙම මෙහෙයුමේදී රථවාහන විනය පවත්වා ගැනීම කෙරෙහිද දැඩි අවධානයක් යොමු කර ඇත. ඒ අනුව:
- අපරික්ෂාකාරී ලෙස රිය පැදවූ රියදුරන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
- වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 3,133 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.
මෙම විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි නීතිවේදී එෆ්.යූ. වුට්ලර් මහතා දන්වා සිටියි.