ගාල්ල ප්‍රදේශයට අද (06) ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නගරයේ දෛනික ජන ජීවිතයට ද බාධා එල්ල වී තිබේ.
විශේෂයෙන්ම ගාල්ල – වක්වැල්ල මාර්ගය ගාල්ල පොලිස් ස්ථානය අසලින් ජලයෙන් යටවී ඇති අතර, මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වී ඇති බව ගාල්ල පොලීසිය පවසයි. ජල මට්ටම ඉහළ යාම නිසා කුඩා වාහන ධාවනය කිරීම අවදානම් සහගත වී ඇත.
ප්‍රදේශයේ පවතින තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ අප වාර්තාකරුවන් සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයට තවමත් වර්ෂාව පතිත වෙමින් පවතින බවයි. වර්ෂාව දිගින් දිගටම පැවතුණහොත් නගරයේ පහත් බිම් තවදුරටත් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බැවින් මාර්ග භාවිතා කරන්නන් සහ ජනතාව අවධානයෙන් පසුවිය යුතුය.