දින කිහිපයක් පුරා පැවති ඉහළ දේශපාලන කැළඹිලි තත්ත්වයකින් පසු ප්‍රංශයේ දේශපාලන කරළිය උඩු යටිකුරු කරමින්, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් ඉල්ලා අස්වී දින හතරක් ගත වූ සෙබස්තියන් ලෙකෝර්නූ මහතාව යළිත් ප්‍රංශ අගමැති ලෙස පත් කර තිබේ.
ලෙකෝර්නූ මහතා නැවත අගමැති ධුරයට පත්වීම දේශපාලන විස්මයක් වූයේ, මීට දින දෙකකට පෙර ඔහු මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ තමා “රැකියාව පසුපස හඹා නොයන” බවත්, තම “මෙහෙවර අවසන්” බවත්ය.
මැක්‍රොන් මෙම තීරණය නිවේදනය කළේ ඊයේ (ඔක්තෝබර් 10) සන්ධ්‍යාවේ එලීසේ මාලිගයේදී ප්‍රධාන පක්ෂ නායකයින් (අන්ත දක්ෂිණාංශික සහ අන්ත වාමාංශික පක්ෂ නායකයින් හැර) හමුවීමෙන් අනතුරුවයි. ජනාධිපතිවරයා “රජයක් පිහිටුවීමට ලෙකෝර්නූට පැවරූ” බව එලීසේ මාලිගය නිවේදනය කළ අතර, ඔහුට කටයුතු කිරීම සඳහා “සම්පූර්ණ බලය” (carte blanche) ලබා දී ඇති බව මැක්‍රොන්ගේ පරිවාරය සඳහන් කළේය.
මැක්‍රොන්ගේ වඩාත්ම පක්ෂපාතී සගයෙකු වන ලෙකෝර්නූ, X සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, “වසර අවසන් වන විට ප්‍රංශයට අයවැයක් ලබා දීමට සහ රටවැසියන්ගේ දෛනික ගැටලුවලට ප්‍රතිචාර දැක්වීමට ජනාධිපතිවරයා විසින් මා වෙත පවරා ඇති මෙහෙවර යුතුකමක් ලෙස භාර ගන්නා” බවයි.
කෙසේ වෙතත්, ඔහුගේ අභියෝගය අතිමහත්ය. ප්‍රංශයේ ජාතික ණය අඩු කර අයවැය හිඟය පාලනය කරන්නේ කෙසේද යන්න පිළිබඳ දේශපාලන බෙදීම් හේතුවෙන් පසුගිය වසර තුළ අගමැතිවරුන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකුට සිය ධුර අත්හැරීමට සිදු විය. ප්‍රංශයේ රාජ්‍ය ණය මේ වසර මුලදී දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 114%කට ආසන්න වී ඇති අතර, එය යුරෝ කලාපයේ තුන්වන ඉහළම අගයයි.
තවද, මෙම වසරේ අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.4%ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම දැවැන්ත ආර්ථික ගැටලු හමුවේ ලෙකෝර්නූට ස්ථාවර රජයක් පිහිටුවීමට හැකිවේද යන්න පිළිබඳව විදෙස් මාධ්‍ය පවා අවිනිශ්චිතය. කෙසේ වුවත්, ඔහුට වහාම වැඩ ආරම්භ කිරීමට සිදුවනු ඇත.