2022 වසරේ මැයි මස 09 වන දින ගාලුමුවදොර ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී සැකකරුවන් 31 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ඔවුන්ට එරෙහිව නුදුරේදීම අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් නීතිපතිවරයා ඊයේ (නොවැම්බර් 04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අරගලකරුවන් පිරිසක් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 05 ක් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා මෙම දැනුම් දීම සිදු කළේය.
- සැකකරුවන් 31 දෙනාට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.
- හඳුනාගත් සැකකරුවන් අතර එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද ඇතුළත් බව ඔහු සඳහන් කළේය.
- එම සිද්ධියට අදාළව අභියාචනාධීකරණය විසින් මීට පෙර නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවා ඇති බවත්, ඒ අනුව ඉදිරි විමර්ශන සිදුවන බවත් රජයේ නීතිඥවරයා කියා සිටියේය.
සිද්ධිය වූ අවස්ථාවේදී පොලිසිය අකර්මණ්‍ය ලෙස කටයුතු කිරීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු පෙන්වා දුන්හ.
ඊට පිළිතුරු දෙමින් රජයේ නීතිඥවරයා කියා සිටියේ, සිද්ධිය වූ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් සහ ජල ප්‍රහාරක රථ තිබුණ ද, ඒවා නිසි ලෙස ක්‍රියාවේ යෙදවීමක් සිදු නොවූ බවයි. එම කටයුතු පැහැර හැරීම සම්බන්ධයෙන් එවක භූමියේ සිටි ජ්‍යෙෂ්ඨම පොලිස් නිලධාරියා වන එවක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව චෝදනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද රජයේ නීතිඥවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කියා සිටියේ, ඔහුට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට සූදානම් වන අවස්ථාවේ මෙම පෙත්සම විභාගයට ගන්නේ නම් තම සේවා දායකයාට අගතියක් සිදුවන බවයි.
අපරාධ නඩු කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් පසු මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සුදුසු බවට ද පාර්ශ්වකරුවන් විසින් අධිකරණය හමුවේ යෝජනා කරන ලදී.
පෙත්සම් පිළිබඳ විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තබන ලදී. මීට අමතරව, පෙත්සම් කිහිපයක වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ එවක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන අයට එරෙහිව අපරාධ නඩු ගොනු කිරීමක් සිදු නොවන හෙයින්, ඔවුන්ට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම පවත්වාගෙන නොයාමට ද පාර්ශ්වකරුවන් අධිකරණය හමුවේ එකඟ විය.