මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම්වල නිරත වන ප්‍රදේශවල, ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ගුවන් හමුදාව සඳහන් කර ඇත්තේ, මෙවැනි ඩ්‍රෝන මෙහෙයුම් හේතුවෙන් ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබන ගුවන් මෙහෙයුම් සඳහා අවදානම් තත්ත්වයක් ඇති කර තිබෙන බවයි.
ගුවන් අවකාශයේ අනවසර ඩ්‍රෝන යානා පැවතීම ගුවන් ගමන් මාර්ගවලට සහ මුදාගැනීමේ හා සහන මෙහෙයුම්වලට බාධා කළ හැකි අතර, ගුවන් යානා අනතුරු සිදුවීමට ද ඉඩ ඇති බව ගුවන් හමුදාව අවධාරණය කරයි.
එවැනි සිදුවීම් යානයේ සිටින ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ ජීවිත, ගුවන් යානා සහ භූමියේ සිටින පුද්ගලයින්ට බරපතළ තර්ජනයක් එල්ල කරන බව ද ගුවන් හමුදාව පෙන්වා දෙයි.
ක්‍රියාත්මක වන මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම්වල ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා, සියලුම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමට පෙර එම යානා ගුවන්ගත කිරීමේ සහ ගොඩබෑමේ වේලාවන් පිළිබඳව පහත අංක අමතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සාමාන්‍ය දුරකථන: 0112343970 / 0112343971
ක්ෂණික දුරකථන: 115