තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබූ නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් යළි යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන් සමත්ව තිබේ. කෙසේ වුවද මෙම ජනන යන්ත්‍රය මගින් උත්පාදනය කරනු ලබන විදුලිය මෙතෙක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට කටයුතු කර නොමැති අතර, අවශ්‍ය තාක්ෂණික පරීක්ෂණවලින් අනතුරුව ඉදිරි දින කිහිපය තුළ එය පද්ධතියට සම්බන්ධ කිරීමට නියමිතව ඇත.
නොරොච්චෝලේ විදුලි බලාගාරය ජනන යන්ත්‍ර තුනක් හරහා සමස්තයක් ලෙස මෙගාවොට් 900 ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කරන අතර, පවතින අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මේ වන විට විදුලිය එක් කරනු ලබන්නේ එක් ජනන යන්ත්‍රයකින් පමණි. අද දින යථා තත්ත්වයට පත් කළ යන්ත්‍රයට අමතරව තවත් එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රීය මට්ටමේ පවතින බව වාර්තා වේ.
එම අක්‍රීයව පවතින අනෙක් ජනන යන්ත්‍රය ද කඩිනමින් යථා තත්ත්වයට පත් කර ජාතික විදුලි බල පද්ධතියට අවශ්‍ය සම්පූර්ණ මෙගාවොට් ප්‍රමාණය ලබා දීමට මේ වන විටත් කටයුතු කරමින් සිටින බව බලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි. මෙම ජනන යන්ත්‍ර යළි ක්‍රියාත්මක වීමත් සමඟ ඉදිරි දිනවලදී විදුලි සැපයුම වඩාත් ස්ථාවර මට්ටමකට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.