මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ, කරිත්තකන්ද ප්‍රදේශයේදී අද (08) උදෑසන සිදුවූ රිය අනතුරක් හේතුවෙන් දුම්රිය ගමනාගමනයට දැඩි බාධා එල්ල වී තිබේ. පොලිසිය සඳහන් කළේ උදෑසන 7.30 ට පමණ දුම්රිය මාර්ගයට ආසන්න මාර්ගයක ධාවනය වූ ලොරි රථයක් පාලනය කරගත නොහැකිව දුම්රිය පීලි මතට ලිස්සා ගොස් ඇති බවයි.
මෙම අනතුර හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ධාවනය වීමට නියමිතව තිබූ ප්‍රධාන පෙළේ කාර්යාල දුම්රිය 5 ක් පමණ මේ වන විට දැඩි ප්‍රමාදයකට ලක්ව ඇති අතර, ඒ හේතුවෙන් රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා දුම්රියෙන් ගමන් ගන්නා මගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති.
අම්බලන්ගොඩ පොලිසිය මැදිහත් වී දුම්රිය මාර්ගයේ අවහිර වී තිබූ ලොරි රථය ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර, මේ වන විට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.