ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වන වැඩිම අපේක්ෂකයින් ප්‍රමාණය මේවනවිටත් ජනතාවට අමුතුවෙන් කිව යුතු නොවේ.ඒ මැතිවරණ ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත්වන අපේක්ෂකයින් 39ක් වන හෙයිනි.රටේ නායකයා වී රට හදා මහජනතාවගේ සුඛ විහරණය වෙනුවෙන් තම ධූර කාලය කැප කිරීමට 39 දෙනෙකු ජනපති අප්පේක්ෂකයින් ලෙසින් ඉදිරිපත්ව ඇත.පෙර ජනපති ධූර අපේක්ෂකයින් ලෙසින් දෙදෙනෙකු තිදෙනෙකු ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් ඉදිරි පත් වුවද මෙවර ඡන්ද ලකුණු ද අමුතු අමුතු රටේ ජනතාවටද නුහුරු නුපුරුදු ඒවා වීම සඳහන් කළ යුතුමය. ජනපති සටනට බට අය අතර කැපීපෙනෙන චරිත රැසක්ම වූහ.
ගෙවී ගිය සතියේදී සමගි ජන බල සංධානයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හැරදා සමගියේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්වූයේ සංදර්ශනාත්මක ගිවිසුම්ගත වීමක් ද සමඟිනි.
“මට සජිත් ප්‍රේමදාස මහත්මයත් එක්ක ප්‍රශ්නයක් නෑ. ඒ පක්ෂ නායකයන් එක්කවත් ඒ මැතිනිය එක්කවත් කිසි ප්‍රශ්නයක් නෑ. එතුමගේ හොඳම යාළුවා ලක්ෂ්මන් ෆොන්සේකා මගෙත් යාළුවා.” යනුවෙන් රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ ඒ ගිවිසුම් ගත වීම අතරතුර මාධ්‍ය අමතමිනි.එහිදී තව දුරටත් අදහස් දක්වමින් රාජිත සේනාරත්න මහතා පවසා ඇත්තේ, ‘’සජිත් ප්‍රේමදාස මහතා සහ තමා පැය දෙකක් තනිව කාමරයක සාකච්ඡා කළ බවත්, සිය අදහස් සියල්ල ඔහුට කී බවත් “ඇමැතිතුමා මාව දාලා යන්න එපා. මම ආයාචනය කරනවා මාත් එක්ක ඉන්න” බවයි.
රාජිත සේනාරත්න නික්ම යාමෙන් හිස් වූ බේරුවල සමගි ජන බලවේගය ආසන සංවිධායක ධුරයට හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයකු වන ටී.ම්. ඩිල්ෂාන් මහතා පත්කිරීමට සමගි ජන බලවේගයේ කටයුතු කරද්දී සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තු පැමිණ පසුව ස්වාධීන මන්ත්‍රීවරයකු වූ එක්සත් ජනරජ පක්ෂයේ නාය පාඨලී චම්පික රණවක මහතා නැවත සජිත් සමඟ එක්වීමට හේතුව බොහෝ දෙනෙක් විමසා සිටියහ.
එක්සත් ජනරජ පෙරමුණ දේශපාලන පක්ෂයේ නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පසුගිය කාලසීමාවේ දී බොහෝ පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වා ඇති බව අනාවරණය වේ.
ඒ අතර පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා බාර ගැනීම ද සිදුවූයේය.
“ජාතික ජන බලවේගයට බලයට එන්න දෙන්න හොඳ නෑ. අපි එකතු වෙන්න ඕනෑ”
මෙවන් අදහසක් රැගෙන ඔහු විවිධ පාර්ශ්ව වෙත එළැඹ සාකච්ඡා මෙහෙයවා ඇතැයි කියැවේ. අවසානයේ දේශපාලන වටපිටාව පිළිබඳ දීර්ඝව විමසා ඔහු අවසන් තීරණයට එළඹුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව සාකච්ඡා වට කිහිපයක් අවසානයේ වෙනම උත්සව සභාවක දී සමගි ජන බලවේගය සමඟ එක්වීමට පාඨලී චම්පික රණවක තීරණය කළේය.
ජනපති රනිල් වික්‍රමසොංහ මහතාට ශක්තියක් වීමට ගිය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට යළි තීරණ කොට ඇති අතර
“ජනාධිපතිතුමා එක්ක ප්‍රශ්නයක් නෑ. නමුත් අපිට පක්ෂය පාවා දීලා යන්න පුළුවන්කමක් නෑ. ගමේ ජනතාව කියන්නේ අපි ඉන්න පක්ෂයේම ඉන්න කියලා. පක්ෂයෙන් අපේක්ෂකයෙක් දානවා කියලා හරියටම තිබුණේ නැති නිසා ජනාධිපතිතුමාට සහාය දෙනවා කියලා හිටියා. නමුත් පක්ෂයෙන් අපේක්ෂකයෙක් දාපු නිසා අපි අනිවාර්යයෙන්ම පක්ෂයත් එක්ක කටයුතු කරන්න බැඳිලා ඉන්නවා.” යනුවෙන් ප්‍රේමලාල් ජයසේකර මහතා හේතු දක්වා ඇත.
පසුගිය සතියේදී දේශපාලන වාර්තා අතර පොහොට්ටුවේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාස් සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා අතර සාකච්ඡාවක් පැවැත ඇති අතර පොහොට්ටුවෙන් වෙන් වූ මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය සමඟ එක්වුණි.
ඒ අනුව ලංසා පාර්ශ්වය, අමරවීර – නිමල් සිරිපාල පාර්ශ්වය සහ ප්‍රසන්න රණතුංග ප්‍රමුඛ පොහොට්ටුවෙන් කැඩී ආ පාර්ශ්වය එකම වේදිකාවක් මතට ගොඩ වී ඔවුන් සන්ධානගත වූයේ පොදුජන එක්සත් පෙරමුණ නමින් පැරණි පුටුව ලකුණ වටාය.ඒ නව සන්ධානයේ නායකත්වය හිමිවූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාට වන අතර ලේකම් ධුරය ලසන්ත අලගියවන්න මහතාටත්, භාණ්ඩාගාරික ධුරය චාමර සම්පත් මහතාටත් හිමිවිය. ආර්ථික සංවිධායකවරුන් ලෙස දුමින්ද දිසානායක, නලින් ප්‍රනාන්දු සහ පියල් නිශාන්ත යන මහත්වරුන් පත් කොට තිබුණි.
අගෝස්තු 156 වැනිදා නාමයෝජනා බාරදීම සිදුවුනු අතර ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ද කල් ඇතිවම සාගල රත්නායක, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් ඇතුළු කිහිප දෙනකු සමඟ නාමයෝජනාව බාරදීම සඳහා රාජගිරියේ මැතිවරණ කොමිසම වෙත පැමිණ තිබූ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුව ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ කිහිප දෙනකු ද පෙරටු කොටගෙන නාමයෝජනා බාරදීමට පැමිණියේ නැකැත් විමසා බව ආරංචි මාර්ග සඳහන් කරයි.
පොහොට්ටුවේ නාමල් රාජපක්ෂ මහතාද සිය කණ්ඩායමේ පිරිසක් සමඟ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා උදෑසනම හමුවී බුලත් අතක් දී වැඳ අවසර ගෙන කිරිබත් අනුභව කර නාමයෝජනා බාරදීමට පැමිණි තිබුණ අතර නාමයෝජනා බාරදීමට ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පැමිණියේ තරමක් ප්‍රමද ව බව ද සඳහන් කළ යුතුමය.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා දෙතුන් දෙනකු සමඟ නිහඬවම පැමිණ පසුපස අසුන් ගන්නා අයුරු දැකගත හැකි වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ, ව්‍යාපාරික දිලිත් ජයවීර යන මහත්වරුන් ඇතුළු අපේක්ෂකයන් රැසක් ද මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පැමිණ සිටියහ.
මෙහි පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවට සිටින බොහෝ දෙනකු හමුවේ සිනාසෙමින් සුහද කතාවන්ට මුල පුරන්නට විය. නාමල් අසලට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුට ද සුබ පතා තිබේ. සුබ පැතුමකින් නොනැවතී ඔහු ප්‍රතිවාදීන් හා ආ ගිය විත්ති පිළිබඳව මෙන්ම ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව ද කතා කර ඇති බව ද වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමා වී පැමිණි අනුර කුමාර දිසානායක වෙත පිටුපසින් ගොස් ඔහුට ද අත දී මිනිත්තු කිහිපයක් ඔහු සමඟ ද කතා කළ බව ආරංචි මාර්ග සඳහන් කරන අතර අනුර කුමාර දිසානායක මහතා ප්‍රමාද වී පැමිණි නිසා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුර කුමාර දිසානායක මහතා හමිවීමග්ට සොයා ගිය බවද ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායකගෙන් ද ඉදිරි ජනාධිපතිවරණ කටයුතු පිළිබඳ විමසා ඇතැයි ද වාර්තා වේ.
මේ අතර ජනාධිපතිවරයා පසෙකින් සිටි විපක්ෂ නායකවරයාට ද අතට අත දීමට උත්සාහ කරන ආකාරය දැකගත හැකි අතර එහිදී අතට අත දීමකින් වැළකී විපක්ෂ නායකවරයා ජනපතිට ආචාර කොට සුබ පතන ආකාරය දැකගත හැකි විය.නාමල් රාජපක්ෂ මහතා සහ අනුර කුමාර දිසානායක මහතා එකිනෙකාට අතට අත දෙමින් සුබ පතා ගන්නා අවස්ථාවේ වීඩියෝවක් ද එදිනම සමාජ මාධ්‍යයේ අවධානය දිනා ගත් බව සඳහන් කළ යුතුමය.
නාමල් රාජපක්ෂ මහතා වෙත සජිත් ප්‍රේමදාස මහතා පවා සුබ පැතුම් එක් කළ බව වාර්තා වන අතර ඇප තැන්පත් කළ පිරිස අතරින් 39 දෙනෙක් නාමයෝජනා බාර දුන්හ. සජිත් ප්‍රේමදාස මහතා පමණක් කොමිසමට පිටුපසින් පැමිණ නාමයෝජනා බාරදෙන ආකාරය දැකගත හැකි විය. මින් පෙර මෙලෙස සුබ වෙලාවන් බලා නාමයෝජනා බාර දී තිබුණේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පමණි. සියලු දෙනා නාමයෝජනා බාරදීමෙන් අනතුරුව, විරෝධතා පළ කිරීමට කොමිසම කාලය ලබා දුන්නේය. එහිදී විරෝධතා තුනක් ඉදිරිපත් වූ නමුත් එම විරෝධතා ත්‍රිත්වයම කොමිසම විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.
හදවත ලකුණින් ජනාධිපතිවරණයට පැමිණෙන බව ආරංචි මාර්ග සඳහන් කළ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලැබී තිබුණේ ගෑස් සිලින්ඩරය ලකුණ වන අතර මාලිමාව, දුරකථනය සහ පොහොට්ටුව ද මෙවර ජනාධිපතිවරණ ලකුණු අතරට එක්ව ඇත.
.
අනුරාධපුරයෙන්ම සිය මැතිවරණ කටයුතු ආරම්භ කිරීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කොට තිබූ අතර සිය මංගල රැලිය මේ මස 21 වැනිදා අනුරාධපුරේදීම පැවැත්වීමට නාමල් රාජපක්ෂ සංවිධාන කටයුතු සිදු කරමින් ඇති බව වාර්තා වේ.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ජනාධිපතිවරණය වෙනුවෙන් සිය “සන්ධානය” ශක්තිමත් කර ගැනීමට කටයුතු කරමින් සිටින අතර බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී දේශපාලන පක්ෂ සහ සන්ධාන 34ක් සමඟ එකතුව සම්මුතියකට ලැබීමට ජනපති රනිල් වික්‍රමසිංහ කටයුතු කළේය. “පුළුවන් ශ්‍රී ලංකා” ලෙස නමකට තිබූ මෙම සම්මුතිය අත්සන් තබනු ලැබුවේ දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම වෙනුවෙන් පමණක් නොව රටේ සහ ජනතාවගේ අනාගතය ගොඩනැඟීම වෙනුවෙන් බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පවසා ඇති අතර සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගලදී සැලකිය යුතු ජන සහභාගීත්වයක් සමඟ සිය මංගල රැලිය පවත්වනු ලැබීය.
ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා දිස්ත්‍රික්ක තුනක් පදනම් කරගෙන සිකුරාදා රැලි තුනක් සංවිධානය කිරීමට කටයුතු කර තිබුණි. ජනපති රනිල් වික්‍රමසිංහ සෙනසුරාදා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී සිය මංගල රැළියෙන් අටවන ජනපති නවවන ජනපති වීමේ අපේක්ෂාවන් ජනපතිවරණ සටන ආරම්භ කොට ඇත.
සැප්තැම්බර් 21 වැනිදා වනතෙක් දේශපාලන රැළි සහ වේදිකාවලින් ජනතාව දිව්‍ය ලෝක සුව දෙන කතාබහ ඇසෙන්නට අසන්නට කාළය එළඹ ඇත.එහෙත් සබුද්ධික වන්න.මක්නිසාද යත් තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හා වෙනත් ලබාගෙන ඇති ණය වාරික් හෝ ණය පොලී හෝ අපේ රටෙන් ගෙවීමවත් ආරම්භ කොට නැත.
මේ කාළය හරියට අවුරුදු උදාවට පෙර ගත කරන නොනගත සමය මෙන් නිසා හැලියේ වතුර නටන තෙක් අප සැමට කකුළුවන් සේ නටමින් සිටිය හැකිය.එහෙත් නිවරැදි තීරණයක් සැප්තැම්බර් 21 වෙනිදා ඔබ විසින් නොගතහොත් කුමක් සිදුවේවිදැයි ඔබම මදක් සිතා බලා නිවරැදි තීරණය ගැනීමට කටයුතු කළ යුතුව ඇත.