මේ වනවිට එරට හමුදාව සහ දේශපාලන බලධාරීන් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම කෙරෙහි සාකච්ඡා කරමින් සිටි.
ඒ අතර සිරගත කෙරුණු බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය කලීඩා ෂියා නිදහස් කරන ලෙස එරට ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් නියෝග කර තිබේ.
ඒ මෙන්ම ජනාධිපතිවරයා නියෝග කර ඇත්තේ, පසුගිය සති කිහිපය පුරා පැවති විරෝධතා අතරතුර අත්අඩංගුවට ගැණුනු ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු පිරිස ද වහා නිදහස් කරන ලෙසයි.
ඒ, එරට හමුදා ප්‍රධානීන්ගේ සහ දේශපාලන නියෝජිතයින්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදීය.
පසුගිය සති කිහිපයක් පුරා පැවති විරෝධතා අතරතුර එරට විපක්ෂ ආධාරකරුවන් සහ සිසුන් ඇතුළු 10,000කට ආසන්න පිරිසක් සමූහ වශයෙන් රඳවා තබා ගෙන තිබුණි.
අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවන බවත්, නව මැතිවරණයක් කැඳවන බවත් ජනාධිපතිවරයා එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.
පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
ශෙයික් හසීනා ධූරයෙන් ඉල්ලා අස්වීම පිළිබඳ සතුට සමරමින් බංග්ලාදේශ වැසියන් වීදී පුරා ජයඝෝෂා නඟමින් ඇවිද යන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
රටින් පළාගිය බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා දිල්ලි ආසන්න ප්‍රදේශයකදී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ, ඇය ලන්ඩනයේ වෙනත් යුරෝපා රටක දේශපාලන රැකවරණය පැතීමේ සූදානමක පසුවන බවය.
මහජන විරෝධතා හමුවේ බංගලාදේශ අගමැති ෂෙයික් හසීනා ඊයේ (05) පස්වරුවේ ධුරයෙන් ඉල්ලා අස්වුණි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ධුරයෙන් ඉවත්වූ අගමැතිවරිය ඉන්දියාවේ අගර්තාලා බලා පිටත්වූ බවයි.
මේ සමග වසර 15ක කාලයක් බංග්ලාදේශයේ පැවති ෂෙයික් හසීනා පාලනය අවසන් විය.
රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හා අන්තර් ජාල අවහිරතා නොතකා ඩකා අගනුවරට රැස්වූ බංග්ලාදේශ ජනතාව ඊයේ පෙරවරුවේ අගමැති නිල නිවස අත්පත් කර ගෙන තිබුණි.
අග්‍රාමාත්‍ය නිල නිවසට දැඩි අලාභානි කරමින් එහි තිබූ වටිනා දෑ විරෝධතාකරුවන් රැගෙන ගොස් තිබේ.
ජනතාව අගමැති නිල නිවසට ඇතුළුවන විටත් අගමැති ෂෙයික් හසීනා ඇගේ සහෝදරිය සමග ආරක්ෂිතව ඩකා නගරයෙන් පිටව යාමට පියවර ගෙන තිබුණේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයකිනි.
ආරක්ෂිතය පිටව යාම සඳහා අගමැතිවරියට හමුදා ආරක්ෂාව සපයා තිබුණි.
ඊයේ පස්වරුවේ ජාතිය ඇමතූ බංග්ලාදේශ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් වකාර් උස්-සාමාන් කියා සිටියේ අන්තර්වාර රජයක් යටතේ රටේ පාලනය ස්ථාපනය කරන බවයි.
1971 බංග්ලාදේශ නිදහස් සටනට එක්වූ යුද විරුවන්ගේ ඥාතීන්ට රජයේ රැකියාවලින් 30%ක කෝටාවක් දීමට ෂෙයික් හසීනා රජය සැරසීමත් සමගම ඊට එරෙහිව ශිෂ්‍යයින් උද්ඝෝෂණ ආරම්භ කළහ.
එම උද්ඝෝෂණ පාලනයට රජය බලය යෙදවූ අතර මේ වනවිට ගතවූ දින දෙක තුළ පමණක් සිදු වූ මරණ සංඛ්‍යාව 100කට අධිකයි.
විරෝධතා ආරම්භ වූ අවස්ථාවේ සිට මේ දක්වා 300කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මහජන විරෝධතා හමුවේ රැකියා කෝටාව පිළිබඳ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය වෙනස් කළත් විරෝධතා අවසන් වූයේ නැත.
පසුගිය දින කිහිපයේ උත්සන්න වූ මහජන විරෝධතාවලින් අවධාරණය කළේ, අගමැතිවරිය ඉල්ලා අස්විය යුතු බවයි.
රටපුරා ඇඳිරි නීතිය පනවා අන්තර් ජාල සේවා අවහිර කර තිබුණත් ඊයේ රටපුරා වැසියන් දහස් ගණනින් ඩකා අගනුවරට රැස්වී අගමැතිවරියට ඉල්ලා අස්වන්නැයි බල කළහ.
සිය සහෝදරිය සමග ඩකා නගරයෙන් පළාගිය ෂෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයත් මේ වනවිට ගිනිතබා තිබේ.
මේ අතර ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය ඊයේ පස්වරුවේ හමුදා ප්‍රධානියා සමග අන්තර්වාර රජය පිළිබඳව සාකච්ඡා කර ඇත.
එම සාකච්ඡාවෙන් පසුව එම පක්ෂයේ මහලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සන්සුන්ව කටයුතු කරන ලෙසයි.
විරෝධතාකරුවන් බංග්ලාදේශ පාර්ලිමේන්තුව ද මේ වන විට වටලා තිබේ.
මේ අතර ශෙයික් හසීනා බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට සතුට පළ කරමින් ලන්ඩනයේ වෙසෙන බංග්ලාදේශ ජාතිකයින් ඇතුළු පිරිසක් ඊයේ ජයඝෝෂා නැගුහ.