මාස තුනකට අධික කාලයක් පුරාවට තවමත් පිහිටුවා නොමැති සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවා නැත.
ඒ සඳහා සභා වාරයක් කැඳවන ලෙසට එම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් විසින් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව, මන්ත්‍රීවරුන් පිරිසක් විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් සංදේශයක් මැතිවරණ කොමිෂන් සභාව, ආණ්ඩුකාර කාර්යාලය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත භාර දී තිබේ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව, සීතාවක ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීම සඳහා කිසිදු පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට සමස්ත ආසන සංඛ්‍යාවෙන් 50%කට වඩා වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට නොහැකි විය.
පසුගිය ජුනි 17 සහ ජූලි 15 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබූ අදාළ සභාවේ පළමු සහ දෙවන රැස්වීම් දෙකම කල් තැබිණි. ඊට හේතුව වූයේ සභාපති තෝරා ගැනීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ඇති වූ අර්බුදකාරී තත්ත්වයන් හේතුවෙන් රැස්වීම් සඳහා ගණ පූරණය නොවීමයි.
ඒ අනුව, එදින සිට මේ දක්වා මාස තුනකට අධික කාලයක් ගත වී ඇතත්, සභාපතිවරයා හෝ උප සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා රැස්වීමක් කැඳවීමට කිසිදු නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව ද මන්ත්‍රීවරු පෙන්වා දෙති.