අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂකගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා මහතාට කල දැනුම්දීමකට අනුව ඔහු එහි පෙනී සිටිමින් මෙම ප්‍රකාශය ලබා දී ඇත.
පාර්ලිමේන්තු වෙබ් අඩවියට මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් කිරීමේ වගකීම පැවරී ඇති සභා ලේකම් කාර්යාලය පවතින්නේ ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේය. මෙම තත්ත්වය තුළ ජයලත් පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඇත.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තම නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීමෙන් තමාට අපහාසයක් වූ බව පවසමින් අධිකරණ අමාත්‍යවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පසුගියදා පැමිණිල්ලක් සිදු කළේය.