ලංකාවේ වඩාත්ම ආරක්ෂිත බන්ධනාගාරය ලෙස සැලකෙන බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ වසරක් පුරා සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ජංගම දුරකතන 133ක් ඇතුළු තහනම් ද්‍රව්‍ය රැසක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත්ව තිබේ. 2025 වසරේ ජනවාරි මස පළමුවැනිදා සිට දෙසැම්බර් මස 26 වැනිදා දක්වා කාලය තුළ බන්ධනාගාරය තුළ සිදුකළ වැටලීම් 72කදී මෙම ද්‍රව්‍ය සොයාගත් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
පොලිස් විශේෂ කාර්ය බලකායේ බූස්ස සහ ගාල්ල කඳවුරුවල නිලධාරීන් මෙන්ම බන්ධනාගාර හදිසි ප්‍රතිචාර හා උපක්‍රමික ඒකකයේ නිලධාරීන් එක්ව මෙම මෙහෙයුම් මාලාව දියත් කර ඇත. බන්ධනාගාරය තුළ සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් රහසිගතව භාවිත කරන ලද මෙම උපකරණ සිරමැදිරි සහ විවිධ රහස් ස්ථානවල සඟවා තිබියදී ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
මෙම මෙහෙයුම්වලදී ජංගම දුරකතන 133කට අමතරව සිම් කාඩ්පත් 159ක්, දුරකතන චාජර් 110ක්, ඩේටා කේබල් 122ක් සහ හෑන්ඩ් ෆ්‍රී 56ක් සොයාගෙන ඇත. ජංගම දුරකතන බැටරි 12ක් සහ මෙමරි චිප් 02ක් ද ඒ අතර වන බව වාර්තා වේ. අධි ආරක්ෂිත කලාපයක් තුළ මෙතරම් විශාල දුරකතන ප්‍රමාණයක් හමුවීම බන්ධනාගාර ආරක්ෂාව පිළිබඳව බරපතළ ප්‍රශ්නාර්ථයක් මතු කරන්නකි.
තාක්ෂණික උපකරණවලට අමතරව තියුණු පිහි 03ක්, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 850ක් සහ දුම්කොළ ග්‍රෑම් 40ක් ද මෙම වැටලීම්වලදී සොයාගෙන තිබේ. බන්ධනාගාරය තුළට මෙම ද්‍රව්‍ය ඇතුළු වූ ආකාරය සහ ඒ සඳහා කිසියම් නිලධාරී සහයක් ලැබී තිබේද යන්න පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක කිරීමට ආරක්ෂක අංශ සැලසුම් කර ඇත.