දකුණු පළාත තුළ අද (ඔක්තෝබර් 20) සිට ‘Gov Pay’ තාක්ෂණික ක්‍රමවේදය හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ අවස්ථාව සලසා දී තිබේ.
මේ අනුව රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම මේ වන විට බස්නාහිර පළාත සහ දකුණු පළාත ආවරණය කර ඇති බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා අද පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.
දකුණු පළාත ආවරණය කිරීමේදී එම පළාත තුළ පිහිටි පොලිස් ස්ථාන වෙත ජංගම දුරකථන 400කට අධික ප්‍රමාණයක් ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ඉදිරියේදී මෙම ක්‍රමය උතුරු පළාත තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්, මේ වසර අවසානයට පෙර ලංකාව පුරා පිහිටි සියලුම පළාත් තුළ අන්තර්ජාලය හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ පහසුකම ආවරණය කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය.
ඉන් අනතුරුව මෙහි දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමටත්, ඒ අනුව අකුසලතා ක්‍රමවේද (Demerit Points System) හඳුන්වාදීමට පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම ක්‍රියාවලිය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සහ රථවාහන දෙපාර්තමේන්තුව ද සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වේ.
Gov Pay හරහා රථවාහන දඩ මුදල් ගෙවීමේ ක්‍රියාවලියේදී වැඩිම දඩ මුදල් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් අය වී ඇති බවත්, මේ වන විට රථවාහන වැරදි 20,000කට ආසන්න ප්‍රමාණයකින් රුපියල් මිලියන 30කට ආසන්න දඩ මුදල් එකතු වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම ක්‍රියාවලිය ආරම්භ වූ පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ ආයතන 170ක් සම්බන්ධ වී ඇති බවත්, රුපියල් මිලියන 400කට අධික ගෙවීම් මෙම Gov Pay පද්ධතිය හරහා නොයෙකුත් රාජ්‍ය ආයතන වෙත සිදු කර ඇති බවත් හර්ෂ පුරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.