රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් ඉහළ නැංවීමට සමගාමීව, පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ද ජාතික අවම වේතනය ඉහළ නැංවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. මෙය 2025 අයවැය යෝජනාවක් මත පදනම් වූවකි.
ඒ අනුව, අදාළ පනත් තුනක් 2025 ජූලි 22 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇති අතර, ඒවා 2025 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වේ
සංශෝධිත නීති විධිවිධාන අනුව, පෞද්ගලික අංශයේ සේවකයින්ගේ මාසික අවම වේතනය මෙලෙස ඉහළ යනු ඇත:
2025 අප්‍රේල් 01 දින සිට: මාසික අවම වේතනය රුපියල් 17,500/- සිට රුපියල් 27,000/- දක්වා වැඩි වේ.
2026 ජනවාරි 01 දින සිට: මාසික අවම වේතනය රුපියල් 30,000/- දක්වා වැඩි වේ.
මෙලෙස මාසික අවම වේතනය වැඩිකිරීම සේවක අර්ථසාධක අරමුදල්, සේවා නියුක්තිකයින්ගේ භාර අරමුදල්, අතිකාල, පාරිතෝෂික, ප්‍රසූතිකාධාර ගෙවීම් සහ නිවාඩු දින ගෙවීම් යනාදී සියලුම ව්‍යවස්ථාපිත ගෙවීම් සඳහා අදාළ කර ගත යුතු බව ද රජය පෙන්වා දෙයි.
අතරමැදියෙකු හෝ කොන්ත්‍රාත්කරුවෙකු හරහා සේවයේ නිරත කරනු ලබන සේවකයන් සම්බන්ධයෙන් ආසන්නතම සේවායෝජකයා මෙන්ම අවසාන සේවායෝජකයා ද ඇතුළුව සෑම සේවායෝජකයෙක්ම මෙම නියමයන්ට යටත්ව කටයුතු කිරීමට නීතියෙන් බැඳී සිටී.
මෙම විධිවිධාන ක්‍රියාත්මක කිරීමේ බලය කම්කරු කොමසාරිස් ජනරාල් වෙත පැවරී ඇති අතර, ඒ පිළිබඳව අදාළ පාර්ශ්වයන් දැනුම්වත් කිරීමට පුවත්පත් දැන්වීම් මඟින් දැනටමත් පියවර ගෙන ඇත. අමාත්‍ය මණ්ඩලය මෙම විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක වන බව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට එකඟතාව පළ කර තිබේ.