සෑම වසරකම නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන්ට හිමිවන විශේෂ රාජ්‍ය පොදු සමාව මෙවර නත්තල් දිනයේදී ක්‍රියාත්මක නොවීම පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
ඉතිහාසයේ ප්‍රථම වතාවට නත්තල් දින සැමරුමට සමගාමීව රැඳවියන් නිදහස් කිරීමක් මෙවර සිදු නොවීම විශේෂත්වයකි. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ ක්‍රියාවලිය තවමත් අවසන් වී නොමැති බවයි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අනුව, නිදහස් කිරීමට සුදුසුකම් ලබන රැඳවියන්ගේ නාමලේඛනය දැනටමත් විෂය භාර අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ. කෙසේ වෙතත්, එම ලැයිස්තුවේ සිටින රැඳවියන් පිළිබඳව තවත් අතිරේක වාර්තා කිහිපයක් අමාත්‍යාංශය විසින් ඉල්ලා ඇති අතර, ඒවා සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී.
නත්තල් දිනයේදී මෙම නිදහස් කිරීම සිදු කිරීමට නොහැකි වුවද, අදාළ වාර්තා සකස් කර අවසන් වූ වහාම ඉදිරි දිනකදී සුදුසුකම් ලත් රැඳවියන් නිදහස් කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර ආරංචි මාර්ග තහවුරු කරයි.
සාමාන්‍යයෙන් සුළු වැරදි සම්බන්ධයෙන් සිරදඬුවම් විඳින සහ යහපත් කල්ක්‍රියාවෙන් පසුවන රැඳවියන් පිරිසක් වසරක් පාසා නත්තල් වෙනුවෙන් නිදහස ලබති.