ලොව ප්‍රමුඛතම විස්සයි-විස්ස ක්‍රිකට් ප්‍රිමියර් ලීග් තරගාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ 18 වැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසිය අද (දෙසැම්බර් 16 වැනිදා) අබුඩාබි හිදී පැවැත්වීමට නියමිතය.
මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයන් 1390ක් ලියාපදිංචි වී ඇති අතර, ඉන් ක්‍රීඩකයින් 350ක් ලැයිස්තුගත කර තිබේ. මේ අතර ඉන්දියානු ක්‍රීඩකයින් 240ක් සහ විදේශීය ක්‍රීඩකයින් 110ක් ඇතුළත් වන අතර, ජාත්‍යන්තර වරම් නොලද ඉන්දීය ක්‍රීඩකයන් 224ක් සහ විදේශීය ක්‍රීඩකයින් 14 දෙනෙක් ද වෙති. කණ්ඩායම් 10ක් සඳහා මෙවර ක්‍රීඩකයන් 77 දෙනෙකු තෝරාගැනීමට නියමිත අතර, ඒ අතරින් විදෙස් ක්‍රීඩකයන් සඳහා ස්ථාන 31ක් වෙන්ව තිබේ.
එක් කණ්ඩායම් සංචිතයක් සඳහා අවම ක්‍රීඩකයින් 18කට සහ උපරිම ක්‍රීඩකයන් 25කට යටත්ව ක්‍රීඩකයන් තෝරාගැනීමේ අවකාශ පවතී. දැනටමත් සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වන කමිඳු මෙන්ඩිස් සහ එශාන් මාලිංග ද, රෝයල් චැලෙන්ජර්ස් බෙන්ගලුරු කණ්ඩායම නුවන් තුෂාර ද, සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම දුෂ්මන්ත චමීර ද තම සංචිතවල රඳවාගෙන සිටිති.
මේ අතර, ඔවුන්ට අමතරව මෙවර ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 12 දෙනෙකු යෝජනා වී තිබීම විශේෂත්වයකි. ඒ අතර පෙර තරගාවලිය ක්‍රීඩා කළ වනිදු හසරංග, මතීෂ පතිරණ, මහීෂ් තීක්ෂණ, දසුන් ශානක මෙන්ම පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, වියස්කාන්ත් විජයකාන්ත්, චරිත් අසලංක, දුනිත් වෙල්ලාලගේ, ට්‍රවීන් මැතිව් සහ බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයෝ එක්ව සිටිති.