ලංකා විදුලිබල මණ්ඩලය 2024 වර්ෂය සඳහා රුපියල් මිලියන හය ලක්ෂ පහළොස් දහස් දහ නවයක මුළු ආදායමක් උපයා ඇති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම වසරේ මණ්ඩලයේ මුළු පිරිවැය රුපියල් මිලියන හාරලක්ෂ හැත්තෑ දහස් හයසිය විසි හතරක් ලෙස වාර්තා වී ඇති බවයි.
එල්.ටී.එල්. සමාගමේ කොටස් අලෙවියෙන් ලද ලාභය සහ විනිමය පරිවර්තන ගැළපුම් ලාභය ද ඇතුළුව, මුදල් නොවන ගනුදෙනු ගැළපීමෙන් පසු මණ්ඩලයේ මෙහෙයුම් ලාභය රුපියල් මිලියන එක් ලක්ෂ හයදහස් හයසිය එකක් බව හෙළි විය. මෙම ලාභය මණ්ඩලයේ මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට මනා දායකත්වයක් සපයා තිබේ.
ලැබූ ලාභයෙන් රුපියල් මිලියන අනූහය දහස් දෙසිය හැට හතරක මුදලක් හිඟ ණය පියවීම සඳහා යොදා ගැනීමට මණ්ඩලය පියවර ගෙන ඇත. විශේෂයෙන්ම රුපියල් මිලියන පනස් හයදහසක් වූ ප්‍රධාන වෙළඳ ණය සහ රුපියල් මිලියන හතළිස් දහසකට අධික බැංකු අයිරා පියවීමට මෙහිදී ප්‍රමුඛතාව ලබා දී තිබේ. 2024 වසරේ සමස්ත වියදම් විශ්ලේෂණය කිරීමේදී පරිපාලන වියදම් සඳහා සියයට 3.09ක් ද, මූල්‍ය වියදම් වෙනුවෙන් සියයට 4.63ක් ද වැය වී ඇත.
කෙසේ වෙතත්, 2024 වසරේ වාර්තා වූ මෙම සුබදායී තත්ත්වය 2025 වසරේ මුල් භාගය වන විට යම් පසුබෑමකට ලක්ව ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව 2025 වර්ෂයේ මුල් මාස තුන තුළ රුපියල් මිලියන දහ අටදහස් හාරසිය හැත්තෑ හතරක මෙහෙයුම් අලාභයක් ලංකා විදුලිබල මණ්ඩලයෙන් වාර්තා වී තිබේ.