සත්කාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ දී අද (නොවැම්බර් 16) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 30ක නොතිබූ ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.
මෙහිදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලබාදුන් ලකුණු 124ක පහසු ඉලක්කයට පිළිතුරු ලෙස ඉන්දියාවට සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 93ක් පමණි. ඉන්දීය දෙවන ඉනිම සම්පූර්ණයෙන් විනාශ කර දැමූ සිමොන් හාමර් ලකුණු 21කට කඩුලු 4ක් දවාගත්තේය.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පළමු ඉනිමට ලකුණු 159ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස ඉන්දියාව ලකුණු 189ක් රැස්කළේය. දකුණු අප්‍රිකානු දෙවන ඉනිම ලකුණු 153කට සීමා වූ අතර, ඒ හේතුවෙන් ඉන්දියාවට මෙම ලකුණු 124ක පහසු ඉලක්කය හිමිවිය.
මෙම ජයත් සමග තරග 2කින් යුත් තරගාවලිය 1-0ක් ලෙස දකුණු අප්‍රිකාව පෙරමුණ ගත්තේය. මෙම තරගාවලිය අයි.සී.සී. ටෙස්ට් ලෝක ශූරතාවට සමගාමීව පැවැත්වේ.
මෙය ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී දකුණු අප්‍රිකාව ආරක්ෂා කරගත් දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව වේ. එහි වාර්තාව වන්නේ 1994 වසරේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 117ක් රැකගැනීමය. එමෙන්ම, ජාත්‍යන්තර ටෙස්ට් තරගයකදී ඉන්දියාට හඹායාමට නොහැකි වූ දෙවන අඩුම ලකුණු සංඛයාව ද මෙය වේ. 1997 වසරේ දී ඔවුන්ට බටහිර ඉන්දීය කොදෙව්වන් ලබාදුන් ලකුණු 120ක ඉලක්කයක් රැකගැනීමට නොහැකිව තිබුණි.