අනුරාධපුර ධම්මානි අනුරපාලි මෙහෙණින් වහන්සේ නායකත්වයෙන් මෙහෙණින්වරුන්ගේ පිරිසක් (21) කොළඹ කොටුව පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
මෙම පැමිණිල්ලෙන්, මිහින්තලේ රාජ මහා භාරකාර ධම්මරතන හිමියන් විසින් අනීතික ලෙස අනුලා මහ සෑයට විහාරාධිපතිකමක් ලබාදීම පිළිබඳ විමර්ශනයක් කිරීමට ඉල්ලයි.
“අපේ උරුමය වන අනුලා මහ සෑය, ලංකාවේ පළමු මහරහත් භික්ෂූනී වහන්සේගේ ධාතුන් තැන්පත් වූ පූජා භූමියයි. මේක කණිෂ්ඨතිස්ස රජුගෙන් පටන් ගෙන, මෙහෙණින්වරුන්ටම උරුම කළ ස්ථානයක්. දැන් ඒ පූජා භූමියට කවුරුත් නොතිබූ විහාරාධිපතිකමක් සකස් කරගෙන තමන්ගේ තණ්හාවට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා. මේක අපට පිළිගන්න බෑ,” යැයි අනුරපාලි මෙහෙණින් වහන්සේ මාධ්‍ය අමතා සඳහන් කළාය.
උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ, අනුලාසෑය ජරාජීර්ණව සිටියදී බෝදාගම චන්දිම නායක හිමියන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතියෙන් නාගානන්ද විශ්වවිද්‍යාලය සමග එක්ව සංරක්ෂණ කටයුතු ආරම්භ කළ බවයි. නමුත් එම වැඩපිළිවෙල අතරමග මිහින්තලේ නාහිමි ධම්මරතන හිමියන්ගේ කැමත්ත නිසා කඩවා දැමූ බවද උන්වහන්සේ පැවසීය.
“අපිට මෙහෙණින් වහන්සේලාට උරුම ස්ථානයක් ලෝකයට පෙන්වන්න අවස්ථාවක් තිබුණා. නමුත් බොරු චෝදනා, තණ්හාව සහ කුමන්ත්‍රණ නිසා ඒක නතර වෙලා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් තැනක කොහොමද විහාරාධිපති කියලා කෙනෙක් පත් වෙන්නේ? මේක අපරාධමය වැඩක්. අපි ඒ ගැන නිසි පරීක්ෂණයක් කරන්න ඕන කියලා අද පැමිණිලි කළා,”
මෙහෙණින්වරුන් වැඩිදුරටත් අවධාරණය කළේ, අනූලාසෑය මෙහෙණි ආරාමයකට යොදා ගැනීමට සහ ඒ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් කිරීමට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවයි.
“රටේ මහා නායක ස්වාමීන්ද්රයන්ටත් අපේ ඉල්ලීම – මේක හරි අයට, නීතිමය අයුරින්, භික්ෂූනීවරුන්ටම බාර දෙන්න. තණ්හාවෙන් පාරාජිත වෙලා පූජනීය ස්ථාන විනාශ කරන්න දෙනවානම් අපි නිශ්ශබ්දව ඉඳින්නෙ නෑ. නීතියෙන්ම අරගන්නවා,” යැයි අනුරපාලි මෙහෙණින් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා ය.