මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අනුව, රියැදුරු බලපත්‍රවල වලංගු කාලය වසර අටේ සීමාවෙන් ඔබ්බට සැලකිය යුතු කාලයකින් දිගු කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය මේ වනවිට සැලසුම් කරමින් සිටී. මෙම විෂය පිළිබඳ අධ්‍යයනය කර, නිශ්චිත වැඩපිළිවෙළක් යෝජනා කිරීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවක් ද පත්කර තිබේ.
අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ රියැදුරු බලපත්‍රයේ වලංගු කාලය අයැදුම්කරුවන්ගේ වයස සහ ශාරීරික යෝග්‍යතාව සැලකිල්ලට ගනිමින් වසර අට ඉක්මවා වැඩි කිරීමට යෝජනා වී ඇති බවයි.
විශේෂයෙන්ම, මැදිවියේ (වයස අවුරුදු 40ට වැඩි) නව ඉල්ලුම්කරුවන්ට සහ බලපත්‍ර අලුත් කර ගැනීමට පැමිණෙන අයැදුම්කරුවන්ට ගැළපෙන දිගු කාලසීමාවක් ලබා දීමට මෙහිදී අවධානය යොමුව ඇත.
කෙසේ වෙතත්, ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක මහතා අවධාරණය කළේ මෙය තවමත් අවසන් තීරණයක් නොව යෝජනාවක් පමණක් බවයි. එසේම, මෙම වලංගු කාලය වැඩි කිරීමේ ක්‍රියාමාර්ගය බර වාහන රියැදුරන්ට බල නොපාන බවත්, ඔවුන් වසර තුනෙන් තුනට බලපත්‍ර අලුත් කර ගත යුතු බවත් ඔහු පැහැදිලි කළේය.
තවද, බලපත්‍ර ලබාගැනීමට අත්‍යවශ්‍ය වන ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය යෝග්‍යතා සහතිකය මුද්‍රණය කිරීම නැවැත්වීමට අවධානය යොමු කර තිබේ. රජයට වසරකට රුපියල් මිලියන පනහක මුදලක් වැයවන මෙම මුද්‍රණ ක්‍රියාවලිය නවතා, ඒ වෙනුවට ජාලගත ඩිජිටල් පද්ධතියක් ඔස්සේ මාර්ගගතව එම සහතිකය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේය.