වමනය පාලනය කිරීම සඳහා රෝහල්වල භාවිත කරන එන්නතක් ලබාදීමෙන් පසු ඇති වූ අතුරු ආබාධ තත්ත්වයන් හේතුවෙන්, එම එන්නත භාවිතය සම්පූර්ණයෙන්ම අත්හිටුවීමට පියවර ගත් බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හන්සක විජයමුනි මහතා ප්‍රකාශ කරයි.
මහනුවර රෝහලේදී මෙම එන්නත ලබාදුන් රෝගීන්ට ඇති වූ යම් සංකූලතාවලින් පසුව රජය මෙම තීරණය ගෙන ඇත. මීට අමතරව කොළඹ ප්‍රදේශයේ රෝහල්වලින් ද මෙම ඖෂධයේ අතුරු ආබාධ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දැනුම්දීම් ලැබී තිබූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මුලින්ම මෙම එන්නතේ අදාළ කාණ්ඩ (Batches) පහක් පමණක් ඉවත් කිරීමට තීරණය කළ ද, පසුව ආරක්ෂිත පියවරක් ලෙස සම්පූර්ණ එන්නත් තොගයම රෝහල් පද්ධතියෙන් ඉවත් කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබේ.