හැටන්: රජයේ නව ප්‍රතිපත්තියට අනුව 2026 පළමු පාසල් වාරයේ සිට පාසල් වේලාවන් පැය භාගයකින් දීර්ඝ කිරීමට සමගාමීව, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ලංගම) සහ පෞද්ගලික බස් රථ ධාවන කාලසටහන් සකස් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් හැටන්හිදී පැවැත්විණි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) එස්.එම්. චන්ද්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම සංවිධානය කර තිබිණි.
එස්.එම්. චන්ද්‍රසිරි මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ, නව අධ්‍යාපන සැලැස්මට අනුව මධ්‍යම පළාත තුළ ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනය සම්බන්ධ නව කාලසටහන 2025 දෙසැම්බර් 15 වැනි දිනට ප්‍රථම සකස් කර අවසන් කළ යුතු බවයි.
ඒ අනුව ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනක් අනුව ධාවනය කළ යුතු බවත්, පවතින අඩුපාඩු හඳුනාගෙන 2026 වසරේ සිට මෙරට තුළ ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් ලබා දිය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
දැනටමත් හැටන් ලංගම ඩිපෝව මගින් නියමිත කාලසටහන අනුව ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධව ධාවනයට එක් කළද, ඇතැම් පෞද්ගලික බස් රථ හිමියන් එයට සහයෝගය නොදැක්වීම හමුවේ ගැටලු රැසක් ඇති වී තිබේ.
ඒ අනුව, නව ඒකාබද්ධ කාලසටහන අනුව බස් රථ ධාවනය නොකරන පෞද්ගලික බස් රථ රියදුරන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට කටයුතු කරන බවට මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් මෙහිදී කියා සිටියේය.
ශ්‍රී පාද වන්දනා වාරය
එළඹෙන ශ්‍රී පාද වන්දනා වාරය වෙනුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා වන්දනාකරුවන් රැගෙන යෑමට සහ ආපසු රැගෙන ඒමට ලංගම සහ පෞද්ගලික බස් රථ ධාවනය ඒකාබද්ධ කිරීමට ද මෙම රැස්වීමේදී අවධානය යොමු විය. එමෙන්ම පරිසරය ආරක්ෂා කර ගනිමින් ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන ලෙසට වන්දනාකරුවන්ට පණිවිඩයක් ලබා දීම සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සකස් කිරීමට ද මෙහිදී සාකච්ඡා කර තිබේ.