ඉදිරි පුනරුද යුගයට ගැළපෙන පුරවැසියන් බිහි කිරීමට සමත් සිසු විශ්වසනීයත්වය තහවුරු වූ පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් වත්මන් ශිෂ්‍ය සම්පත මෙහෙයවීමට කැප වෙන බව අද(20) ‘ඉසුරුපාය’ – අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී රජයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ අමාත්‍ය ධුරය භාර ගනිමින් ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය පැවසී ය.
නව රජයේ ප්‍රතිපත්ති අනුව ඉහළ ප්රමුඛත්වයක් අධ්‍යාපනයට ලබා දී ඇති අතර පාසල් අධ්‍යාපනය නිසි ක්රමික රටාවකට හා කාලසටහනකට අනුව සාර්ථක ව ක්‍රියාත්මක කළ යුතු බවත් අමාත්‍යවරිය පැවසී ය. එමගින් දරුවන්ට සතුටින් අධ්‍යාපනය ලැබිය හැකි පරිසරයක් සකස් කර දිය යුතු ව ඇති අතර ඊට අවශ්‍ය වන පරිදි වර්තමානයේ අධ්‍යාපන ක්ෂේත්රය තුළ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කළ යුතු ව ඇති බවත් සියලු දෙනාගේ නොමඳ සහාය ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය බවත් ඇය වැඩිදුරටත් පැවසී ය