මෙරට සමස්ත පොලිස් නිලධාරින්ගෙන් අඩක් පමණ විවිධ රෝගවලින් පෙළෙන හෙයින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට රජයේ රෝහල්වල වාට්ටු සංකීර්ණය බැගින් වෙන් කිරීමට රජයේ අවධානය යොමුවී තිබේ .
අධික බීමත්කම, ආහාර පාලනයකින් තොර වීම සහ නිසි පරිදි ව්‍යායාම නොකිරීම යනාදී කරුණු හේතුවෙන් පොලිස් නිලධාරින් මෙලෙස රෝගීන් බවට පත්ව ඇතැයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේය .
‘‘පොලිස් නිලධාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සමීක්ෂණයක් කළා. එම සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව පොලිස් නිලධාරීන්ගෙන් 45%ක් පමණ බෝ නොවන රෝගවලින් පීඩා විඳින බව අනාවරණය වුණා. පොලිසියේ සිටින බහුතරයක් අතීතයේදී ක්‍රීඩා කටයුතුවල නිරත වුවත් මේ වනවිට ක්‍රීඩා හෝ ව්‍යායාමවල නිරත වන නිලධාරින් අඩුයි. නිලධාරින් බොහෝ පිරිසකගේ සෞඛ්‍ය තත්ත්වය එතරම් හොඳ නැතැයි’’ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේය .
‘‘පොලිස් නිලධාරීන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා ආහාර මෙනුවක් සකස් කර පොලිස් ස්ථානවලට යොමුකර තිබුණත් එය නිසි පරිදි ක්‍රියාත්මක වෙන්නේ නෑ. බොහෝ නිලධාරීන් ක්ෂණික ආහාර ගන්නවා. එයින් රෝගී වෙනවා. සාමාන්‍යයෙන් මාසයකට රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් 17ක් පමණ මිය යනවා. වසරකට නිලධාරින් 23ක් පමණ සිය දිවි නසා ගන්නවා. පොලිසියේ ඉන්න නිලධාරින්ගෙන් 30%ක් 35%ත් අතර ප්‍රමාණයක් තාම දන්නෙ නැහැ ඒ අය රෝගීන්ද කියලා. මෙලෙස රෝගී වී සිටින පොලිස් නිලධාරීන්ට ප්‍රතිකාර දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඉදිරියේදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා’’ යැයිද වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය .