අධි අවදානම් කලාප සහිත ප්‍රදේශවල හඳුනාගත් නිවාස 15,000 ක් පිහිටා තිබෙන බවත්,ඉන් නිවාස 2,500 ක පදිංචිකරුවන් මේ වනවිට වෙනත් ස්ථානවල පදිංචි කර ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්යක්ෂ (නායයෑම් හා පර්යේෂණ) ගාමිණී ජයතිස්ස ප්‍රකාශ කරයි.
ඒ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14 වැනිදා) දා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.
අධි අවදානම් කලාපවල පදිංචිකරුවන් වෙනත් ස්ථානවල පදිංචි කරවීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගතවන බවද ඔහු පැවසුවේය.
කෙසේ වෙතත් ,වෙනත් ප්‍රදේශවල නාය යෑම් සිදුවුවහොත් මෙම 15,000 කණ්ඩායමට තවත් පිරිසක් එකතු වන බවද අධ්යක්ෂවරයා සඳහන් කළේය.
මේ දිනවල වර්ෂාපතනය අනුව නාය යෑම් සිද්ධි 40 ක් පමණ මේ වනවිට වාර්තාවී තිබෙන බවත්,ඒවා සුළු සිද්ධි බවත් ඔහු කීවේය.
නිවාස ඉදිකිරීමේදී කඳු කැපීම නිසා එම පස් කණ්ඩි නිවාස මතට කඩා වැටීමේ සිද්ධි බහුලව වාර්තා වන බවත්,තමන්ගේ නිවස ආසන්නයේ අස්ථාවර පස් කණ්ඩියක් පිහිටා ඇත්තේ නම් මෙම වර්ෂාපතන තත්ත්වය සමග ඒ පිළිබදෙ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවැසීය.
නායයෑමට ලක්වන දිස්ත්‍රික්කවල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ස්වයංක්‍රීය වර්ෂාමාන 330 ක් ස්ථාපිත කර තිබෙන බවත්,නායයෑම්වලට අදාළව නිවේදන නිකුත් කරනු ලබන්නේ මෙම ස්වයංක්‍රීය වර්ෂාමාන වලින් ලැබෙන දත්ත ආශ්රයෙන් බවත් ඔහු කීවේය.
ලංකාවේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන ආපදා තත්ත්වය නායයෑම් බවද අධ්යක්ෂවරයා වැඩිදුරටත් සදහන් කරයි