වත්මන් රජය ඉතා සැලසුම්සහගතව විරුද්ධවාදීන් සහ රටේ ප්‍රබල ව්‍යාපාරිකයන්ගේ ආරක්ෂාව තර්ජනයට ලක්කරමින් තිබෙන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොමැති නමුත් පසුගිය කාලයේදී දැඩි ජීවිත තර්ජනයන්ට මුහුණ දී සිටි මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම ගැටලුවක් බව ද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේ ය.
එසේ ජීවිත තර්ජනයන්ට මුහුණදුන් ඇතැම් මන්ත්‍රීවරුන් මහමඟ ඝාතනය වූ අවස්ථා තිබෙන බව කී හෙතෙම එවැනි දේශපාලනඥයන්ට හා ව්‍යාපාරිකයන්ට ආරක්ෂාව වෙනුවෙන් රජයෙන් ආයුධ ලබා දී තිබූ නමුත් මේ වන විට කිසිදු සොයා බැලීමකින් තොරව එම ආයුධ නැවත ලබා ගැනීමට උත්සාහ කරන බව ප්‍රකාශ කළේ ය.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සාගර කාරියවසම් මහතා මේ බව කීය.
යම් පුද්ගලයෙකුගේ ආරක්ෂාව ඉවත් කරන්නේ නම් නිසි ඇගයීමක් කළ යුතු යැයි කී ප්‍රධාන ලේකම්වරයා අදාළ පුද්ගලයාට තර්ජනයක් නොමැති බවට බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ සහතික කිරීමෙන් පසුව ආයුධ ලබා ගැනීම පිළිබඳව විරුද්ධත්වයක් නැතැයි සඳහන් කළේ ය.
විරුද්ධවාදීන් සියලු දෙනාගේ ආරක්ෂාව ඉවත් කිරීම තුළ යම් කුමන්ත්‍රණයක් අනුව සිදුවන්නේ දැයි සැකයක් ඇතිවන බව කී කාරියවසම් මහතා විරුද්ධවාදීන් නිහඬ කිරීමේ ඒකායන අරමුණින් මෙවැනි ක්‍රියාවල නොයෙදෙන ලෙසට වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පැවසීය