අනුරාධපුර නගරයේ පෞද්ගලික රෝහලක කාන්තාවන්ගේ ශල්‍යකර්ම සිදුකරන අවස්ථාවන්වලදී ඇතැම් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් ශල්‍යාගාරය තුළ බාහිර පිරිමි පුද්ගලයන් තබා ගන්නා බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් විශේෂ විමර්ශනයක් අරඹා ඇති බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.
සිසේරියන් සැත්කම් සහ ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්ම වැනි ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවන්වල මෙලෙස අනවශ්‍ය පිරිමි පුද්ගලයන් ශල්‍යාගාරය තුළ තබා ගන්නා බවට චෝදනා එල්ල වී තිබෙනවා.
රජයේ හෝ පෞද්ගලික යම් ඕනෑ ම රෝහලක කාන්තාවන්ගේ ශල්‍යකර්ම සිදු කරන අවස්ථාවල අදාළ විශේෂඥ වෛද්‍යවරයා සහ එම ශල්‍යකර්මය සිදු කිරීමට අවශ්‍ය සෙසු රෝහල් කාන්තා කාර්ය මණ්ඩලය හැර වෙනත් බාහිර කාන්තාවන් මෙන් ම විශේෂයෙන් පිරිමි පුද්ගලයන් ශල්‍යාගාර තුළ තබා ගැනීම සෞඛ්‍ය ආචාරධර්මවලට සහ නීතියට ද පටහැනි බව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ රජයේ වෛද්‍යවරු පවසනවා.
එලෙස කාන්තා ශල්‍යකර්ම සිදුකරන අවස්ථාවන්වල ශල්‍යාගාරය තුළ තබා ගන්නේ අදාළ ශල්‍යකර්මය සිදු කරන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයාට හිතවත් කම්කරු සේවයේ යෙදෙන බාහිර පුද්ගලයන් බව ද පැවැසෙනවා.
මෙම පුද්ගලයන් අදාළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා විසින් කාන්තාවන්ගේ ශරීර ස්පර්ශ කරමින් සිදු කෙරෙන යම් යම් කාර්යයන් සිදු කිරීමට යොදා ගන්නා බවද සඳහන්.
මීට පෙර මෙම පෞද්ගලික රෝහලින් ශල්‍යකර්ම කරවා ගත් කාන්තාවන් කිහිපදෙනකුගෙන් දුරකතනයෙන් මේ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඔවුන් මුහුණදුන් සියලු විස්තර ප්‍රකාශ කිරීමට ලැජ්ජාවක් මෙන් ම මැලිකමක් දැක්ව ඇති අතර ඔවුන් ඉල්ලා සිටියේ තමන් වගේම මෙම පෞද්ගලික රෝහලින් ශල්‍යකර්ම සිදු කරවා ගත් තවත් කාන්තාවන් කිහිප දෙනකුගෙන් ඒ ගැන විමසුවහොත් බොහෝ තොරතුරු දැනගත හැකි බවයි.
මෙම බරපතළ තත්ත්වය සම්බන්ධයෙන් දුරකතනයෙන් කළ විමසිමකට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. එච්. ලියනගේ මහතා සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමාට මෙතෙක් පැමිණිල්ලක් ලැබී නැති බවත්, මේ ගැන තමා සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නා බවයි