නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විවේචනය කරමින් පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ සිදුකොට ඇති වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය විසින් තරයේ හෙළා දැක තිබේ. මහජන මන්ත්‍රීවරිය විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් සහ එම ආයතනයේ විශ්වාසනීයත්වය පළුදු වන අයුරින් සිදුකර ඇති ප්‍රකාශය කෙරෙහි දිනන දකුණ සාමූහිකය වෙනුවෙන් තමන්ගේ බලවත් කනගාටුව සහ විරෝධය පළකර සිටින බව එම සංවිධානය නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයක සඳහන් වේ. රටක අනාගතය භාර ගැනීමට සිටින දරු පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම රාජ්‍ය ආයතනයක් ඉලක්ක කර ගනිමින්, වගකිවයුතු මහජන නියෝජිතවරියක විසින් මෙවැනි පදනම් විරහිත විවේචන එල්ල කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද ඔවුහු කියා සිටිති.
මෙම ප්‍රකාශයේ බරපතලභාවය සම්බන්ධයෙන් කරුණු පෙන්වා දෙන දිනන දකුණ සාමූහිකය අවධාරණය කරන්නේ මහජන මන්ත්‍රීවරියගේ මෙම විවේචනය තුළින් රටේ නීතිය බලගැන්වීමේ ආයතනයක් වන ළමාරක්ෂක අධිකාරියේ ආයතනික ප්‍රතිරූපයට මෙන්ම එම අධිකාරියේ සභාපතිවරිය සහ නීතිය බලගැන්වීමේ නිලධාරිනියගේ පරිචය හා කාර්යපටිපාටික බලය අභියෝගයට ලක්වන බවයි. මෙමඟින් එම මන්ත්‍රීවරිය සහ ඇය නියෝජනය කරන මාලිමා දේශපාලනයේ පවතින ගර්හිත බව සනාථ වන බව ඔවුහු පවසති. ශ්‍රී ලංකාවේ ළමුන්ගේ අයිතිවාසිකම් සුරැකීම සහ ඔවුන්ට සිදුවන අපරාධ වැළැක්වීම උදෙසා කැපවී ක්‍රියා කරන ජාතික ළමාරක්ෂක අධිකාරිය වැනි ආයතනයක ආයතනික අධිෂ්ඨානය සිඳ බිඳ දැමීමට ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය මෙහිදී උත්සාහ දරා ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
එමෙන්ම මෙවැනි විවේචන මඟින් අගතියට පත් දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට රාජ්‍ය යාන්ත්‍රණය කෙරෙහි ඇති විශ්වාසය බිඳ දමා තිබේ. එමගින් පෙන්වා දී ඇත්තේ නීතියේ විධානය රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහාත්, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහාත් රටට පොරොන්දුවු දේශපාලනය පිටුපස පවතින දේශපාලන ගර්හිත භාවය බව දිනන දකුණ සාමූහිකය පෙන්වා දෙයි. ලක්මාලි මන්ත්‍රීවරිය විසින් දේශපාලන වාසි තකා කරුණු විකෘති කිරීමක් සිදු කොට ඇති බවට සමාජ මාධ්‍යට එරෙහිව සිදු කරන චෝදනාව තමන් විශ්මයට පත්කොට ඇති බවද ඔවුහු පවසති.
මන්ත්‍රීවරිය විසින් බීබීසී සිංහල සේවය වැනි ජාත්‍යන්තර මාධ්‍ය ජාලයන් පවා භාවිත කරමින් තම ප්‍රකාශයට අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබා දීමට උත්සාහ කර ඇත්තේ, ළමා ආරක්ෂණය පිළිබඳ සැබෑ කැක්කුමකින් නොව පටු දේශපාලන වාසි ලබාගැනීමේ චේතනාවෙන් බව නිවේදනයේ සඳහන් වේ. මෙම හැසිරීම මෙරට දශක ගණනාවක් තිස්සේ පුරවැසියන් භුක්ති විදින භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල කරනු ලබන මරු පහරක් බවද ඔවුහු කියා සිටිති. අවාසනාවකට මෙම හැසිරීම තුළින් ලක්මාලී මන්ත්‍රීවරිය නීතිඥවරියක් ලෙස පවත්වා ගත යුතුව තිබෙන ඇයගේ වෘත්තීමය පරිචයද පහළට ගෙන ගොස් ඇති අතර, නීතිඥවරියක් සැමවිටම සාක්ෂි සහ කරුණු මත පදනම්ව කතා කළ යුතු වුවද, මෙම ප්‍රකාශයේදී ඇය ළමාරක්ෂක අධිකාරිය මුහුණ දෙන ප්‍රායෝගික අභියෝග හෝ ඔවුන් ඉටුකර ඇති සුවිශාල කාර්යභාරය සම්පූර්ණයෙන්ම අමතක කර දමා ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.
ඒ අනුව ලක්මාලී හේමචන්ද්‍ර මන්ත්‍රීවරියගේ ප්‍රකාශය කරුණු විමසීමකින් තොරව සිදුකළ අදේශපාලනික හා ගර්හිත ප්‍රකාශයක් බව දිනන දකුණ සාමූහිකය පවසයි. අවසානයේදී මෙම මන්ත්‍රීවරියගේ ප්‍රකාශය මගින් සිදුවෙන බවක් පෙනෙන්ට ඇත්තේ ජාතික ළමාරක්ෂක අධිකාරිය ඉදිරියේදී මෙම ළමා අපචාරයට අදාළව අක්‍රියභාවයට පත්වීමක් බවද ඔවුහු පෙන්වා දෙති. මහජන ඡන්දයෙන් පත්වූ නියෝජිතයන්ගේ වගකීම විය යුත්තේ අඩුපාඩු පවතින්නේ නම් ඒවා නිවැරදි කිරීමට ව්‍යවස්ථාදායකය තුළින් සහය වීම මිස, රාජ්‍ය ආයතන පොදු ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක් කිරීම නොවන බව එම සාමුහිකය දැඩි ලෙස අවධාරණය කර සිටී.
එබැවින්, ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය විසින් සිදුකරන ලද මෙම අදූරදර්ශී සහ වගකීම් විරහිත ප්‍රකාශය දිනන දකුණ සාමූහිකය ලෙස තමන් තරයේ හෙළා දකින අතර ඉදිරියේදී මෙවැනි පදනම් විරහිත චෝදනා එල්ල කිරීමෙන් වළකින ලෙසත්, දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දේශපාලන භේදයකින් තොරව කටයුතු කරන ලෙසත් ඇයට සිහිපත් කර සිටියි. මෙම ළමා අපචාර සිදුවීම පිළිබඳව රටේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් මේ වන විටත් දිනන දකුණ සාමූහිකය සිය නිල ස්ථාවරය සමාජගත කොට ඇති අතර, එම නිවේදනය තුළ අවධාරණය කරන ලද කරුණු නැවත වතාවක් මෙම අවස්ථාවේදීද තමන් දැඩිව අවධාරණය කර සිටින බව දිනන දකුණ සාමූහිකයේ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව වෙනුවෙන් නිකුත් කළ මාධ්‍ය ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.