මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිසක් විභාගයකින් තොරවම නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය ලබා දී තිබූ නියෝගය වැරදි සහගත බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 1) තීන්දු කළේය.
ඒ අනුව, අදාළ චූදිතයන්ට සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යා හැකි බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම නඩු විභාගය කඩිනමින් සිදුකර අවසන් කරන ලෙස ද නියෝග කර ඇත.
පොදු දේපොළ පනත යටතේ පවරා තිබූ මෙම නඩුව මීට පෙර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් නිශ්ප්‍රභ කර තිබුණේ විභාග කිරීමකින් තොරවමය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබාදුන් මෙම තීන්දුවත් සමඟ හිටපු මුදල් අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන්ට එරෙහිව මහාධිකරණයේ පැවැත්වෙන නඩු කටයුතු යළිත් සක්‍රීය වනු ඇත.