මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ කරුණු පැහැදිලි කරන ලෙස ඉල්ලා ‘දිනන දකුණ’ සාමූහිකය විසින් විවෘත ප්‍රශ්නාවලියක් යොමු කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) ඈ (xiii) වගන්තිය ප්‍රකාරව ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකුට පවතින නීතිමය බාධාවන් පදනම් කරගනිමින් මෙම විමසීම සිදුකර ඇති අතර මෙය දේශපාලන චෝදනාවකට එහා ගිය රටේ මූලික නීතිය සහ රාජ්‍ය නිලධාරියෙකුගේ විනිවිදභාවය පිළිබඳ බරපතළ ගැටලුවක් බව එම සංවිධානය අවධාරණය කරයි.
නීතිඥ ශිරාල් ලක්තිලක, නදීෂ ද සිල්වා, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ මාධ්‍ය ප්‍රකාශක තුෂාර වීරරත්න යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම නිවේදනය මගින් මුදල් ලේකම්වරයාගෙන් ප්‍රධාන ප්‍රශ්න පහක් විමසා ඇත. එහිදී ඔහු ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගත් නිශ්චිත දිනය, එය ඉවත් කරගත්තේ නම් එම දිනය සහ ඉන් අනතුරුව නැවත ශ්‍රී ලංකා පුරවැසිභාවය ලබාගත් දිනය පිළිබඳව සාක්ෂි සහිතව හෙළිදරව් කරන ලෙස ඉල්ලා තිබේ. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන අවස්ථාව වන විට ඔහු නිල වශයෙන් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවයෙන් ඉවත්ව සිටියේද නැතහොත් ඒ සඳහා අයදුම්පතක් පමණක් ඉදිරිපත් කර තිබුණේ ද යන්න පිළිබඳවද මෙහිදී ප්‍රශ්න කර ඇත.
තවද, දැනට සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වෙමින් පවතින 2010-02-03 දිනැති C19090060828 දරන අංකය ඔහුගේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයට අදාළ අංකයක්ද නැතහොත් එය ජනතාව නොමඟ යැවීම සඳහා නිර්මාණය කරන ලද්දක්ද යන්න පැහැදිලි කිරීම මුදල් ලේකම්වරයාගේ වගකීමක් බව ‘දිනන දකුණ’ සාමූහිකය පෙන්වා දෙයි. වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටට පොරොන්දු වූ වගවීම සහ පාරදෘශ්‍යභාවය සහිත පාලනය යථාර්ථයක් කිරීමට නම් මෙම සැකය දුරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, මින් ඉදිරියට මෙය බරපතළ විෂමාචාර චෝදනාවක් බවට පත්වීමට ඉඩ නොතබා කඩිනමින් අදාළ ලේඛන සහිතව රටට සත්‍ය හෙළි කරන ලෙසත් එම සාමූහිකය වැඩිදුරටත් ඉල්ලා සිටී.