බත්තරමුල්ල, අකුරේගොඩ, බටපොත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා කොටා සිදුකළ පුද්ගල ඝාතනයක් පිළිබඳව අද (12) පෙරවරුවේ වාර්තා විය. මෙලෙස අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 72 හැවිරිදි වියේ පසුවූ තිදරු පියෙකි. මියගිය පුද්ගලයා සිය නිවසේ කොටසක් කුලියට ලබා දී තිබූ අයෙකු වන අතර, මීට පෙර එම නිවසේ කුලියට සිටි පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට මියගිය අයගේ ඥාතීන් චෝදනා කරති.
අද උදෑසන 7 ට පමණ සැකකරු අදාළ ස්ථානයට පැමිණ ඇති අතර, එම අවස්ථාවේදී අසල කුලී නිවසේ පදිංචිකරුවෙකු විසින් ඔහුව දැක තිබේ. එහිදී දෙදෙනා අතර ඇති වූ දැඩි බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැකකරු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇත. අනතුරුව ඝාතනය සඳහා යොදාගත් ආයුධය එම ස්ථානයේදීම දමා සැකකරු පලාගොස් ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මියගිය පුද්ගලයා මුදල් පොළියට ලබා දීමේ ව්‍යාපාරයක ද නිරතව සිට ඇති අතර, යම් මුදල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.