පවතින වර්ෂාපතනයේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, දිස්ත්‍රික්ක කිහිපයක පවතින නායයෑමේ අවදානම සැලකිල්ලට ගෙන නිකුත් කර තිබූ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, පසුගිය නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පස තවදුරටත් සංතෘප්ත වී (බර වී) පවතින බැවින්, සුළු වර්ෂාවකදී පවා නායයෑම් සිදුවීමේ හැකියාව පවතින බවයි.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල, මීගහකිවුල, වැලිමඩ, කන්දකැටිය, හාලිඇල, බදුල්ල, ඌව පරණගම සහ පස්සර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට තවදුරටත් අදියර එක යටතේ නිකුත් කර තිබූ නායයෑමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ.එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, උකුවෙල, අඹගග කෝරළේ, රත්තොට සහ ලක්ගල, පල්ලේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න, වලපනේ, මතුරට සහ හඟුරන්කෙත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලටත් අදියර එක යටතේ විමසිලිමත්ව සිටින නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකය.