ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් අගනුවර වන ටෙහෙරානය ඇතුළු එරට ප්‍රධාන නගර රැසක දැවැන්ත විරෝධතා ව්‍යාපාර ආරම්භ වී තිබේ. මෙය වසර ගණනාවකට පසු ඉරාන පාලනයට එල්ල වූ ප්‍රබලතම සහ විශාලතම ජනතා විරෝධය ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ටෙහෙරානය සහ මාෂාඩ් යන නගර කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ මෙම විරෝධතා සඳහා දසදහස් සංඛ්‍යාත ජනකායක් සහභාගී වී සිටිති. විරෝධතාකරුවන් මර්දනය කිරීමේ පියවරක් ලෙස එරට බලධාරීන් විසින් අන්තර්ජාල සබඳතා අත්හිටුවීමට පියවර ගෙන ඇතත්, නොසන්සුන්කාරී තත්ත්වය ඉරානයේ පළාත් 31 පුරාම ව්‍යාප්ත වී තිබේ.
විරෝධතාකරුවන්ගේ ප්‍රධාන ඉල්ලීම වී ඇත්තේ වත්මන් උත්තරීතර නායකයා බලයෙන් පහ කර, පිටුවහල් කර සිටින හිටපු ෂා රජුගේ පුත් රේසා පහ්ලවී යළි මෙරටට ගෙන්වා ගැනීමයි. දින 12ක් පුරා පවතින මෙම ගැටුම් හේතුවෙන් මේ වන විට ළමුන් පස් දෙනෙකු ඇතුළුව විරෝධතාකරුවන් 34 දෙනෙකු සහ ආරක්ෂක අංශ සාමාජිකයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එසේම 2,270 කට අධික පිරිසක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඉරාන රියාල් මුදල් ඒකකය සීඝ්‍රයෙන් කඩා වැටීම, උද්ධමනය 40% දක්වා ඉහළ යාම සහ රජයේ දූෂිත පාලනය හේතුවෙන් ජන ජීවිතය දරාගත නොහැකි මට්ටමට පත්වීම මෙම දැවැන්ත විරෝධතාවලට ආසන්නතම හේතුව වී ඇත. රජයේ වැරදි කළමනාකරණය හේතුවෙන් ජනතාව දැඩි ආර්ථික පීඩනයකට ලක්ව ඇති බව විරෝධතාකරුවෝ පවසති.