දිඹුල පතන පොලිස් වසමට අයත් ආගිල් වතුයායේ ලයින් නිවාස පේළියක අද (ජනවාරි 09) උදෑසන හදිසි ගින්නක් හටගෙන තිබේ. මෙම ගින්නෙන් නිවාස දෙකකට සහ එහි තිබූ දේපළවලට දැඩි අලාභහානි සිදුව ඇති බව වාර්තා වේ.
ගින්න හටගෙන ඇත්තේ නිවාස තුනකින් සමන්විත ලයින් කාමර පේළියක වන අතර, පෙරවරු 8.00 ට පමණ ගින්න ආරම්භ වී ඇත. ගින්න හටගන්නා අවස්ථාවේ නිවාස තුළ පදිංචිකරුවන් අට දෙනෙකු සිට ඇති නමුත්, ගින්න පැතිර යාමත් සමඟ ඔවුන් වහා ආරක්ෂිතව පිටතට පැමිණීම නිසා කිසිදු ජීවිත හානියක් හෝ තුවාල වීමක් සිදු නොවූ බව දිඹුල පතන පොලිසිය තහවුරු කරයි.
ප්රදේශවාසීන් සහ වතු කම්කරුවන් එක්ව දැඩි පරිශ්රමයක් යොදා ගින්න පාලනය කිරීමට කටයුතු කළද, එක් නිවසක් සහ එහි තිබූ සියලුම ගෘහ භාණ්ඩ හා දේපළ සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. අනෙක් නිවසට ද ගින්නෙන් අර්ධ හානි සිදුව ඇත.