නුවරඑළිය ග්‍රෙගරි වැවට ගොඩබැස්වීමට උත්සාහ කළ සී-ප්ලේන් (Sea Plane) වර්ගයේ ගුවන් යානයක් අද (07) දහවල් 12.30 ට පමණ අනතුරට ලක්ව තිබේ. මෙම අනතුරෙන් යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව නුවරඑළිය පොලිසිය සඳහන් කරයි.
පොලිසිය පවසන පරිදි, මෙම ගුවන් යානය නුවරඑළිය ප්‍රදේශයේ රැඳී සිටින සංචාරකයින් පිරිසක් රැගෙන යාම සඳහා පැමිණි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ දී ඇත. යානය ජලාශයට කඩා වැටුණු අවස්ථාවේදී එහි සිටි නියමුවන් දෙදෙනා බේරා ගැනීමට ජලාශයේ බෝට්ටු සංචාරවල නිරතව සිටි පිරිස් වහා ක්‍රියා කර තිබේ.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, යානය ගොඩබෑමේදී ඇති වූ කාර්මික දෝෂයක් හෝ අයහපත් කාලගුණික තත්ත්වය මෙයට බලපෑවේද යන්න පිළිබඳව සිවිල් ගුවන් සේවා බලධාරීන් පරීක්ෂණ පවත්වනු ඇත.