ස්වාධීන සහ ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට එරෙහිව එක්සත් ජනපදය සිදුකරන හමුදාමය ආක්‍රමණික මැදිහත්වීම ජනතා විමුක්ති පෙරමුණ දැඩි ලෙස හෙළා දකී. වෙනිසියුලානු මහජන ඡන්දයෙන් පත් වූ ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගනිමින් සිදුකරන ලද මෙම ක්‍රියාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එම පක්ෂය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.
ලොව ඕනෑම නිදහස් රාජ්‍යයක මෙන්ම වෙනිසියුලාවේද අනාගතය තීරණය කිරීමේ සහ පාලකයන් තෝරා පත් කර ගැනීමේ පරමාධිපත්‍ය බලය ඇත්තේ එරට ජනතාවට පමණක් බව එම පක්ෂය අවධාරණය කරයි. එය උල්ලංඝනය කිරීමට කිසිදු බලවතෙකුට අයිතියක් නොමැති බවත්, රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය ලොවම පිළිගන්නා මූලධර්මයක් බවත් ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.
නූතන ශිෂ්ටසම්පන්න ලෝකය තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් උල්ලංඝනය කරමින් රටකට හමුදාමය මැදිහත්වීම් සිදු කිරීම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. එක්සත් ජනපදය විසින් සිදු කරන ලද මෙම බලහත්කාරී මැදිහත්වීම ලොව කිසිවෙකුත් අනුමත නොකරන බව තමන් දැඩිව විශ්වාස කරන බව ද එම පක්ෂය පවසයි.
වෙනිසියුලාවේ ස්වෛරී පැවැත්ම සහ ස්වාධීනත්වය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටින බවත්, අමෙරිකා එක්සත් ජනපදයේ මෙම හමුදාමය ආක්‍රමණයට එරෙහිව සියලු දෙනා එක්විය යුතු බවත් අදාළ නිවේදනය මඟින් වැඩිදුරටත් ඉල්ලා ඇත. මෙම නිවේදනය ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් 2026 ජනවාරි 04 වන දින නිකුත් කර තිබේ.