දිවයිනේ පළාත් කිහිපයකට අද දිනයේ වැසි සහ තද සුළං සහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
සබරගමුව පළාත ඇතුළු ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල වැසියන්ට අද පස්වරුවේ වැසි සහිත කාලගුණයකට මුහුණ දීමට සිදුවනු ඇත. පස්වරු 2.00 න් පමණ පසුව මෙම ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි පතිත වීමේ හැකියාවක් ද පවතී.
වර්ෂාවට අමතරව ප්‍රදේශ කිහිපයකටම අද දිනයේ තද සුළං තත්ත්වයක් ද අපේක්ෂා කෙරේ. මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මෙන්ම හම්බන්තොට, මොනරාගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ක පමණ වේගයෙන් හමන තරමක තද සුළං ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ.
අලුයම් කාලයේදී බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.