හබරණ-ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ අද (27) අලුයම සිදු වූ රිය අනතුරකින් වනඅලියෙකු මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.
අද අලුයම 1:00ට පමණ මාර්ගයේ 124 කිලෝමීටර් කණුව අසලදී වේගයෙන් ධාවනය වූ වෑන් රථයක් මාර්ගය හරහා මාරු වූ වනඅලියෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
වනජීවි නිලධාරීන් පවසන පරිදි, කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ සිට හුරුලු පාරිසරික උද්‍යානය දෙසට ප්‍රධාන මාර්ගය හරහා මාරුවීමට උත්සාහ කළ අවස්ථාවේදී වනඅලියා මෙම අනතුරට මුහුණ දී තිබේ. ඒ වයස අවුරුදු 12ක් පමණ වන, උස අඩි 5ක් වූ තරුණ වනඅලියෙකි.වෑන් රථයේ රියදුරා සහ එහි ගමන් කළ කාන්තාවක තුවාල ලබා ඇති අතර, ඔවුන් වහාම හබරණ රෝහලට ඇතුළත් කර තිබේ.
විමර්ශන කටයුතු
අනතුරින් වෑන් රථයටද දැඩි හානි සිදුව ඇති අතර, මියගිය සත්ත්වයා පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු කවුඩුල්ල වනජීවි නිලධාරීන් විසින් සිදු කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් හතරැස් කොටුව පොලිසිය සහ වනජීවි අංශ එක්ව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මෙම කලාපය අලි මාරු වන කලාපයක් බැවින් රාත්‍රී කාලයේ ධාවනය වන වාහන අවධානයෙන් සහ සීමිත වේගයකින් ධාවනය කරන ලෙස බලධාරීන් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.