ශ්‍රී ලංකාවේ අපනයන අංශය 2025 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ සියයට 5.8ක වාර්ෂික වර්ධනයක් සනිටුහන් කර ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා රේගු දත්ත සහ ඇස්තමේන්තුගත තොරතුරුවලට අනුව මෙම මාස 11ක කාලය තුළ මෙරට අපනයන ක්ෂේත්‍රය උපයා ඇති සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 15,776.36ක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා සඳහන් කළේය.
ගතවූ නොවැම්බර් මාසය පමණක් සැලකීමේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන අංශ දෙකෙන්ම උපයා ඇති මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,364.52කි. එය 2024 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව සියයට 5.56ක සැළකිය යුතු වර්ධනයක් බව පෙන්වා දෙන මංගල විජේසිංහ මහතා, ජාත්‍යන්තර වෙළඳපොළ යථා තත්ත්වයට පත්වීම සහ දේශීය අපනයන උපාය මාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක වීම මීට ප්‍රධාන හේතුව වී ඇති බව අවධාරණය කළේය.
විශේෂයෙන්ම මැණික් හා ස්වර්ණාභරණ මෙන්ම ඛණිජ තෙල් නිෂ්පාදන සඳහා වන අපනයන ඉල්ලුම ස්ථාවර මට්ටමක පැවතීම මෙම ආදායම් වර්ධනයට මනා පිටුවහලක් වී තිබේ. වෙනස්වන ගෝලීය වෙළඳපොළ තත්ත්වයන්ට අනුවර්තනය වෙමින් මෙරට අපනයනකරුවන් දක්වන ශක්තිමත්භාවය සහ තරඟකාරිත්වය මෙම සංඛ්‍යාලේඛන මඟින් මනාව පිළිඹිබු වන බව සභාපතිවරයා පෙන්වා දෙයි.
නොවැම්බර් මාසය අවසන් වන විට 2025 වසර සඳහා නියමිත වාර්ෂික අපනයන ඉලක්කයෙන් සියයට 86.3ක් සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. මෙය මෙරට අපනයන ප්‍රජාවේ කැපවීම ඉස්මතු කරන ප්‍රධාන සාධකයක් වන අතර, වෙළඳපොළ අවස්ථා විවිධාංගීකරණය කිරීම තුළින් ගෝලීය වෙළඳාම සමඟ ශ්‍රී ලංකාව තවදුරටත් සමීපව ඒකාබද්ධ වීම මෙමඟින් තහවුරු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.