මෙරට කලා ක්ෂේත්‍රයේ කාගේත් ආදරය දිනාගත්, මීට පෙර ගුවන් සේවිකාවක ලෙස ද කටයුතු කළ සුරූපී රංගන ශිල්පිනී දේශානිගේ පෙම් කතාව වර්තමානයේ කාටත් රහසක් නොවේ. එහෙත් එම සබඳතාවයේ සුන්දරත්වයට වඩා එපිටින් වූ අඳුරු සහ වේදනාත්මක පැත්තක් පිළිබඳව ඇය සිය මුහුණුපොත හරහා ඉතා සංවේදී මෙන්ම ආවේගශීලී සටහනක් තබමින් හෙළි කර තිබේ.
තමන් දැඩි කලකිරීමකින් සහ ප්‍රශ්න රැසක් මධ්‍යයේ මෙම සම්බන්ධතාවය තුළ ජීවත් වූ බව පවසන ඇය, ඇතැම් මිනිසුන් අවංක හදවත් සමඟ සෙල්ලම් කරන්නේ තිරිසන් ගතිගුණ සඟවාගත් වෙස්මුහුණු පැළඳගෙන බව සඳහන් කරයි. සිය ජීවිතයේ එක් කාල පරිච්ඡේදයකදී එවැනි පුද්ගලයෙකු තමාට හමු වූ බවත්, ඔහු වෙනුවෙන් තමා අසීමිත ලෙස ආදරය කරමින් ජීවිතයේ වටිනාම දේවල් පවා කැප කළ බවත් ඇය පවසන්නේ දැඩි වේදනාවකිනි.
මෙම සම්බන්ධතාවය හේතුවෙන් සමාජය මෙන්ම සිය දෙමාපියන් ද විවේචනයට ලක් වූ බව පවසන දේශානි, ආදරය හමුවේ තමන් අන්ධ වූ බව නොසඟවා පිළිගනියි. තමන් අසල අවංක ගැහැනියක සිටියදී පවා වෙනත් ගැහැනුන් සොයා යන පිරිමින්ගේ පහත් මානසිකත්වය සහ වගකීම් විරහිත පෞරුෂය ඇය දැඩි ලෙස හෙළා දකින අතර, “කැලේ මාරු වුණත් කොටියාගේ පුල්ලි මාරු නොවන” බවට වූ ප්‍රස්තාව පිරුළ ද මෙහිදී සිහිපත් කර ඇත.
මාස ගණනාවක් පුරා සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ කතාබහට ලක් වූ සිය පෞද්ගලික ජීවිතයේ සැබෑ තත්ත්වය මෙලෙස රටටම හෙළි කිරීමට තීරණය කළේ, තමන්ගෙන් ප්‍රශ්න අසන පිරිසට නිසි පිළිතුරක් ලබා දීමේ අරමුණින් බව ඇය සඳහන් කරයි. මිනිසුන් තමන්ව නැවත විවේචනය කළ ද, සැබෑ සත්‍යය මෙය බවත් එය ප්‍රකාශ කිරීම තමන්ගේ අයිතියක් බවත් ඇය පෙන්වා දෙයි.
අතිශය වේදනාත්මක අත්දැකීම් සමුදායකින් පසුව තමන් උගත් වැදගත්ම පාඩම වන්නේ, ආදරය සහ කැපවීම කළ යුත්තේ තමන්ටම කියා ආත්ම ගරුත්වයක් ඇති මිනිසෙකුට පමණක් බව දේශානි සිය සටහන අවසන් කරමින් අවධාරණය කරයි.
