වවුනියාව ඊච්චන්කුලම ප්‍රදේශයේදී අද අලුයම සිදු වූ අවාසනාවන්ත පවුල් ආරවුලක් හේතුවෙන් 37 හැවිරිදි කාන්තාවක් සිය ස්වාමිපුරුෂයා අතින් ඝාතනය වී තිබේ. කලක පටන් මෙම යුවළ අතර පැවති ආරවුලක් දුරදිග යාමෙන් සැමියා විසින් සිය බිරිඳට පිහියකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බව ඊච්චන්කුලම පොලිසිය පවසයි.
ඝාතනය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය උත්සාහ කළ අවස්ථාවේදී ඔහු ද පිහියකින් සිය ගෙල කපාගෙන බරපතල තුවාල සිදු කරගෙන තිබේ. එහිදී එම පුද්ගලයා ද අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇති අතර පොලිසිය විසින් ඔහුව වහාම වවුනියාව රෝහලට ඇතුළත් කර ඇත.
මේ වන විට සැකකරු වවුනියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ. මොවුන් දෙදෙනා අතර මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙවැනි ගැටුම් ඇති වී ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව සහ ඊච්චන්කුලම පොලිස් නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි. මියගිය කාන්තාවගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ද අද දිනයේ සිදු කිරීමට නියමිතව ඇත.