කොළඹ ජාතික රෝහලේ වැඩබලන නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ රාජකාරී වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කර ඇති නිල ලිපියක් මඟින් මෙම තීරණය දැනුම් දී ඇති අතර, ඒ මහතාට එරෙහිව විධිමත් විනය පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතය.
සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදු කරන ලද මූලික විමර්ශනයකට අනුව මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ. රජයේ වගකිවයුතු තනතුරක් දරන නිලධාරියෙකු ලෙස විවිධ මාධ්‍ය ඔස්සේ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් සහ මහජනතාව තුළ අනවශ්‍ය නොසන්සුන්තාවයක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම ඔහුට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවයි. විශේෂයෙන්ම නිසි අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ ලබා දීම සම්බන්ධයෙන් එහිදී දැඩි අවධානයක් යොමු කර ඇත.
මේ සම්බන්ධයෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගෙන් සිදු කළ විමසීමකදී ඔහු තහවුරු කර ඇත්තේ විනය පරීක්ෂණයකට යටත්ව තමාගේ වැඩ තහනම් කර ඇති බවට දැනුම් දී ඇති බවයි. වෛද්‍ය බෙල්ලන මහතා මීට පෙර ද අවස්ථා කිහිපයකදීම සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීත්වයට අදාළව සිදු කළ ප්‍රකාශ හේතුවෙන් දැඩි කතාබහට ලක් වූ චරිතයකි.