ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් මහතා සිය පක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ. මෙම තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂයේ ජාතික සභාව වහාම කැඳවන ලෙස ඒ මහතා පක්ෂයේ උප සභාපතිවරුන් කිහිප දෙනෙකුට දුරකථනයෙන් දැනුම් දී ඇති බව සඳහන් වේ.
මෙම අර්බුදයට මූලික හේතුව වී ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රසයේ වත්මන් සභාපති සෙන්දිල් තොන්ඩමන් සහ ලේකම් ජීවන් තොන්ඩමන් යන මහත්වරුන් අතර ඇති වූ දැඩි මතභේදයකි. ආගරපතන ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා වන අයවැය යෝජනාව පරාජය වීමත් සමඟ දෙදෙනා අතර දුරකථනය ඔස්සේ බහින්බස් වීමක් සිදු වූ බවත්, ඉන් අනතුරුව ජීවන් තොන්ඩමන් මහතා මෙම තීරණයට එළැඹ ඇති බවත් පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කරයි.
තවද, තලවකැලේ ලිඳුල, නුවරඑළිය, හඟුරන්කෙත, වලපනේ සහ කොත්මලේ යන පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ට රජයට ලබාදෙන සහයෝගයෙන් ඉවත් වන ලෙස දන්වා ලිපි නිකුත් කරන ලෙස ද මහ ලේකම්වරයා උපදෙස් දී ඇති බව පැවසේ. මෙය වතුකරයේ දේශපාලන ස්ථාවරත්වයට සෘජු බලපෑමක් එල්ල කළ හැකි තීරණයක් ලෙස දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
කෙසේ වෙතත්, ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු ප්‍රකාශ කළේ මහ ලේකම්වරයාගේ මෙම ඉල්ලීම දුරකථනයෙන් ලැබුණ ද, එය ජාතික සභාව වෙත ලිඛිතව ඉදිරිපත් කළහොත් පමණක් සභාව කැඳවීමට පියවර ගන්නා බවයි. තොන්ඩමන් පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු අතර ඇති වී තිබෙන මෙම විරසකය පක්ෂයේ ඉදිරි ගමනට කෙසේ බලපානු ඇත්දැයි වතුකරයේ ජනතාව දැඩි අවධානයෙන් පසුවෙති.