‘දිට්වා’ සුළි කුණාටුවත් සමග දිවයිනට බලපෑ ආපදා තත්ත්වයන් හමුවේ ඌව පළාතේ වසා දැමූ පාසල් යළි ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව ඌව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ රෝහිත අමරදාස මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා පැවසුවේ, දිනයන් දෙකක් යටතේ ඌව පළාතේ පාසල් යළි විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවය:
දැඩි ලෙස ආපදාවන්ට ලක් වූ පාසල් හැර අනෙකුත් පාසල්: හෙට (දෙසැම්බර් 16) දින
බලපෑම් එල්ලව ඇති සෙසු පාසල්: එළැඹෙන දෙසැම්බර් 29 වනදා
ඒ අනුව, මොනරාගල දිස්ත්‍රික්කයේ පාසල් 291න් බිබිල කළාපයේ දෙහිගලවත්ත පාසල හැර අනෙකුත් සියලුම පාසල් 290ම හෙට (16) දින විවෘත කිරීමට කටයුතු යොදා ඇත.
එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන කළාපයේ දික්යාය විද්‍යාලය, කළුකැල විද්‍යාලය සහ පින්නගොල්ල විද්‍යාලය හැර අනෙකුත් පාසල් 78ක් ද හෙට දින විවෘත කිරීමට සියලු කටයුතු යොදා ඇත.
පවතින ආපදා තත්ත්වයත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ සෙසු කළාප වන බදුල්ල, බණ්ඩාරවෙල, වැලිමඩ, පස්සර සහ එම කළාපවල සියලු පාසල් හෙට දින ආරම්භ නොවන අතර, දෙසැම්බර් 29 වන දින එම කළාපවල සියලු පාසල් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බව අධ්යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කළේය.