රිය අනතුරක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ වෛද්‍ය වාර්තාව මෙතෙක් පොලීසිය වෙත ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.
එසේම රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ද මේ සමඟ ගෙන්වා ගන්නා බවත්, එම වාර්තා ලැබීමෙන් අනතුරුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගන්නා බවත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ අශෝක රන්වල මන්ත්‍රීවරයා ධාවනය කළ ජිප් රථය තවත් මෝටර් රථයක සහ යතුරු පැදියක ගැටී අනතුරක් සිදු වූ අතර, එම අනතුරින් මන්ත්‍රීවරයා සහ අනෙක් මෝටර් රථයේ ගමන් කළ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබුණි.
එහිදී මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගත් අතර, පසුව ඔහු ඇප මත මුදා හරිනු ලැබීය.