විල්පත්තුව ජාතික වන උද්‍යානයේදී ගෝනෙකුට වෙඩි තැබූ දඩයක්කරුවන් දෙදෙනෙකු වනාතවිල්ලුව බිට්ටු වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අද (දෙසැම්බර් 14) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව පදිංචි 32 සහ 34 වයස් සීමාවල පසුවන සැකකරුවන් දෙදෙනෙකි.
අදාළ සැකකරුවන් දෙදෙනා විල්පත්තුව ජාතික වන උද්‍යානයට කලපුව දිගේ ධීවර යාත්‍රාවක නැගී ගගේවාඩිය දෙසින් ඇතුල් වී, ඉන්පසු වන උද්‍යානය තුළදී ගෝනාට වෙඩි තබා මරා දමා ඇති බව වාර්තා වේ. මොවුන් දීර්ඝ කාලයක සිට විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සැරිසරන වන සතුන් දඩයම්වල නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
වනාතවිල්ලුව බීට්ටු වනජීවී නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත අදාළ වැටලීම සිදු කර ඇති අතර, වනජීවී නිලධාරීන් වැටලීම් සිදු කරන විටදී වෙඩි තබා මරා සිටි ගෝනා ධීවර යාත්‍රා මගින් ගොඩබිමට රැගෙන විත් මස් කරමින් සිටි බවද වාර්තා වේ.