ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධව ධාවනය කිරීම සඳහා නිකුත් කර ඇති කාලසටහන උල්ලංඝනය කරමින්, මධ්‍යම පළාත් නුවරඑලිය මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන බල ප්‍රදේශවල පෞද්ගලික බස් රථ ධාවනය කිරීම නිසා හැටන් ලංගම ඩිපෝවට දිනකට 15%ක ආදායම් තත්ත්වයක් අහිමි වී ඇති බව, එම ඩිපෝවේ කළමනාකාරවරයා විසින් මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබේ.
හැටන් සහ නුවරඑළිය පෞද්ගලික බස් නැවතුම්පොළවල්වලින් නියමිත වේලාවට පෞද්ගලික බස් රථ ධාවනයට එක් කළ ද, එම බස් රථ සිය ගමනාන්තය වෙත නියමිත වේලාවට ධාවනය නොකිරීම නිසා, ඊට පිටුපසින් ලංගම බස් රථය ධාවනය කිරීමට සිදුවීම හමුවේ, මෙම ආදායම් තත්ත්වය පහළ බැස ඇති බව එම ලිපියේ සඳහන් කර ඇත.
තවද, හැටන් පෞද්ගලික බස් රථ වේලා සටහන්කරුවන්ට පෞද්ගලික බස් රථවලින් සන්තෝසමක් ලැබෙන නිසා, ලංගම සහ පෞද්ගලික ඒකාබද්ධ ධාවන කාලසටහන ඔවුන් විසින් ක්‍රියාත්මක නොකරන බවයි, හැටන් ලංගම ඩිපෝවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ.
මේ සම්බන්ධයෙන් මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසුමක දී ඔහු කියා සිටියේ, මෙම ගැටළුව සම්බන්ධයෙන් දෙපාර්ශවයම හැටන් නගරයෙදී කැඳවා හෙට දින සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.